21 වනදා රැස්වෙන අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවසේ කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි

එළඹෙන නොවැම්බර් 21 වනදා ආරම්භ වන මෙරට දසවන පාර්ලිමේන්තුවේ පළමු දිනය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..

දසවන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන්තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ. මෙසේ තේරීපත්වන මන්ත්‍රීවරයන් සහභාගී වන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි. පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවේ.
සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු
ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ඡන්දයෙන් තොරා පත්කර ගැනීම සිදුකරනු ලැබේ.
කථානායකවරයා පත් කිරීම පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත් කළ හැකිය. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරිමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර; ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ. මෙහිදී මුලින්ම කථානායකවරයා පත් කරගත යුතු බව මහ ලේකම්වරිය විසින් සභාවට දැනුම් දෙනු ලබයි. එවිට යම් මන්ත්‍රීවරයෙක් අසුනින් නැගී සිටියහොත් මහ‍ ලේකම්වරිය විසින් එම මන්ත්‍රීවරයා දෙසට සියත දිගුකොට අදාළ යෝජනාවට සභාවේ අවධානය යොමු කරවයි. එසේ එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාම යෝජනා තිබේද යන්න මහ ලේකම්වරිය විසින් සභාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී වෙනත් නාම යෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගැනේ.
මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ. අනතුරුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුමදීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. එසේ පත්වන කථානායකවරයා සිය ආසනයේ අසුන් ගැනීමට පෙර තමාව තෝරා පත් කර ගැනීම පිළිබඳ කෙටි ස්තූතියක්සභාව වෙත සිදුකිරීම සම්ප්‍රදායකි. නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සුභාශිංෂණ පිරිනැමෙන අතර අනතුරුව කථානායකවරයා විසින් සිය ස්තුති කථාව සිදුකරනු ලැබේ.
සභාවේ අනෙකුත් මන්ත්‍රීවරයන් මන්ත්‍රීවරයෙකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන් අනතුරුවයි. කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවති. එම අවස්ථා 02 නම් කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා අවස්ථාවයි.එම ඡන්ද විමසීමේදී ගණපූර්ණ සීනුව විනාඩි 05 ක් නාද කිරීමෙන්
අනතුරුව මහ‍ ලේකම්වරිය විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබාදෙන අතර මන්ත්‍රීවරයන් ඒ මත ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම සහ සිය අත්සන යෙදිය යුතුවේ.
අනතුරුව එම ඡන්ද පත්‍රිකාව කිසිවෙකුට නොපෙනෙන සේ නවා ඡන්ද පෙට්ටියට ඇතුළත් කළ යුතුවේ. ඡන්දයක් පැවැත්වීමේ ආකාරය තීරණය කිරීමේ බලය සහ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිය සම්පූර්ණයෙන් හිමි වන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. ඡන්දය ගණනය කරනු ලබන්නේ මහ‍ ලේකම්වරියගේ මේසය (Table of Parliament) මතදීයි. මෙසේ ගණනය කිරීමෙන් අනතුරුව ඡන්ද ප්‍රතිඵලය සභාව වෙත ප්‍රකාශයට පත් කරනු ලැබේ. යම් අවස්ථාවකදී ඡන්ද පත්‍රිකාවක මන්ත්‍රීවරයාගේ අත්සන යොදා නොමැති විටකදී එම ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ. කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍ය‍ාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක් අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරඟයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම සිදු කරයි. ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමිකර ගන්නා තැනැත්තා කථානායක ලෙස තේරී පත්වේ. එමෙන්ම මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අවස්ථාවක දී ඉහත ආකාරයට ඡන්ද පවත්වමින් එක් එක් මන්ත්‍රීවරයා ඉවත් කරමින් අවසාන එක් බහුතර ඡන්ද ලාභියෙක් ලැබෙන තෙක් ඡන්දය පවත්වයි.
නමුත් කිසියම් මන්ත්‍රීවයෙක් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා ඕනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ. යම් අවස්ථාවක දී මන්ත්‍රීවරයන් තිදෙනෙක් ඡන්දයට පෙනී සිටින විට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමාන ඡන්ද ලබා ඇති විට කුසපත් ඇදීම මගින් සමාන මන්ත්‍රීවරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉවත් කිරීමේ බලය මහ ලේකම්වරියට හිමිවේ. අනතුරුව වැඩි ඡන්ද හිමි අපේක්ෂකයා සහ ඉතිරි වූ අනෙක් අපේක්ෂකයා අතර නැවත ඡන්දයක් පවත්වා කථානායකවරයා තෝරා පත් කර ගැනේ.මන්ත්‍රීවරයන් දෙදෙනෙකු අතර ඡන්දය පැවැත්වෙන අවස්ථාවක දී අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ඇති විටකදී නැවත ඡන්දය පවත්වයි. නමුත් එම අවස්ථාවේදීත් අපේක්ෂකයන් දෙදෙනා විසින් සමාන ඡන්ද ලබා ඇති විටකදී කුසපත් ඇදීම මගින් කථානායකවරයෙක් තෝරා ගැනීමේ බලය මහ ලේකම්වරිවට හිමිවේ.මෙහිදී කුසපත් ඇදීමේ ක්‍රමවේදය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් මහ ලේකම්වරියට හිමිවේ. ඡන්දයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රාතබා එක් මාසයක කාලසීමාවක් මහ ලේකම්වරියගේ භාරයේ තැබිය යුතු අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ලැබෙන නියෝගයක් අනුව ඒවා විනාශ කර ඒ බව නැවත පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය.
පාර්ලිමේන්තුවට තේරී පත්වන සියළු මන්ත්‍රීවරයන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඤාව ලබාදීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛණයේ අත්සන් තැබීම සිදුකළ යුතුය.
මෙහිදී කථානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යොදති. මෙම අත්සන් ලේඛණය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛණයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ කථානායකවරයා විසිනි. නියෝජ්‍ය කථානායකවරයා සහ කාරකසභා සභාපතිවරයා සඳහා නාම යෝජනා වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් වෙනත් යෝජනා තිබේදැයි සභාවෙන් විමසනු ලබයි. එසේ නොමැති විටකදී අදාළ යෝජිත මන්ත්‍රීවරයන් තනතුරු සඳහා තේරී පත්වේ.යම් අවස්ථාවකදී ඡන්ද විමසීමක් සිදුකරන්නේ නම් කථානායක තෝරා පත්කරගත් ක්‍රියා පිළිවෙතම අනුගමනය කෙරේ. එහිදී විශේෂත්වය වන්නේ මහ ලේකම්වරිය වෙනුවට කථානායකවරයා එම ඡන්ද විමසීම සිදුකරනු ලැබීමයි. ඉහත කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ.
මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊලඟට එළඹෙන පාර්ලිමේන්තු දිනයයි. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවක දී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තබනු ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57