2027 ලෝක ජල දිනය නිමිත්තෙන් ඒකාබද්ධ ජාතික වැඩසටහනක්

2027 ලෝක ජල දිනය සැමරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ ජල ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන්, අරමුණු 14ක් යටතේ මෙම ඒකාබද්ධ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව ජල ක්ෂේත්‍රය මුහුණ දෙන වත්මන් ගැටලු සහ අනාගත අභියෝග සඳහා සාමූහික විසඳුම් සෙවීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන වශයෙන් අරමුණු කෙරෙනවා .

ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම, ජල ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ජල සංරක්ෂණය හා ආරක්ෂාව පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂාවේ වැදගත්කම අවධාරණය කිරීම මෙන්ම ගංගා, වැව්, තෙත්බිම් සහ භූගත ජල සම්පත් ආරක්ෂා කිරීම ද මෙහි අපේක්ෂිත අරමුණු වනවා.

එමෙන්ම, ජල ක්ෂේත්‍රයට අදාළ වෘත්තිකයන්, පර්යේෂකයන් සහ සංවිධාන විසින් සිදු කරනු ලබන විශිෂ්ට දායකත්වයන් ඇගයීමට ලක් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරෙනවා.

ඒ අනුව, ප්‍රධාන සැමරුම් උත්සවය 2027 මාර්තු 23 වැනිදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර, ඊට සමගාමීව ලෝක ජල දින සැමරුම් සතියක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජල ක්ෂේත්‍රයේ නවෝත්පාදන, තාක්ෂණය, තිරසාර භාවිතයන් සහ ආයතනික කාර්යභාරය පිළිබිඹු කෙරෙන ජාතික ප්‍රදර්ශනයක් ද මෙම සැමරුම් වැඩසටහනට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජලයේ ගුණාත්මකභාවය, සෞඛ්‍ය හා ආරක්ෂාව, ජල කළමනාකරණය හා තාක්ෂණය, නවෝත්පාදන හා ආර්ථික සංවර්ධනය, අපජල කළමනාකරණය, ජලය නැවත භාවිතය, උරුමය සහ ආහාර සුරක්ෂිතතාව ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරෙනවා.

එම ක්ෂේත්‍රවලට අදාළව ජාතික මට්ටමේ කමිටු සහ අනුකමිටු ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති අතර, ඒ හරහා ජල ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමට අපේක්ෂා කෙරෙනවා.

ලෝක ජල දින සැමරුම් සතිය තුළදී එක් එක් ආයතනය සිය විෂය පථයට අදාළ විවිධ පැතිකඩ ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් නදීකා වික්‍රමසිංහ, ජලසම්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එච්. ගමගේ සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිස්නා රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.