හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17) පැවසුවා.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම 1%ක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවත්; ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන නොයන අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බවත් අවධාරණය කළා.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බවයි පැවසුවේ.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් අදහස්  දැක්වූ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත්භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපට ණය ලබා දී තිබූ රටවල් 18 සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා. ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත්භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා. මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දීයි.
මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා..
රට බංකොලොත් බවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා. එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමග වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා.

දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා.
එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්.
එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා.

පළමුවෙන්ම 2028 වසරේ සිට අපට ණය ගෙවන්නට තිබෙනවා. 2027 වසර වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් විය යුතුයි.දැන් එම අගය සියයට 12 යි. ඒ ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක වර්ධනයක් ලබාගත යුතුයි.
මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්. ඒ සමගම අපගේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගත යුතුව තිබෙනවා. එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතුයි.මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව අපට ණය ගෙවන්නට තිබෙනවා. මේ කාල සීමාව ඇතුළත අප ඉහත ඉලක්ක සපුරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි.
මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක් වන්නේ දුෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමයි. මේ සියලු කාරණා සම්බන්ධ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම ජනපතිවරණ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ.කෙසේ හෝ නව පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කරන්නට නම් පසුගිය ගිය පාර්ලිමේන්තුවේ ලැබූ අත්දැකීම් නතර කළ යුතුව තිබෙනවා. එනම් පසුගිය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුත් මේ වගකීම් බාරගන්නට ඉදිරිපත් වුණේ නැහැ. මම පැමිණ පොහොට්ටුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු කරගෙන මේ ආණ්ඩුව හදා වැඩකටයුතු කළා.
ඊළඟ පාර්ලිමේන්තුවේ දී මෙවැනි සිදුවීම් වන්නට ඉඩ නොතැබිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා. ඒ කණ්ඩායම් තුන අතුරින් එක කණ්ඩායමක් ගැන මා මෙහිදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේයි. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,නව සන්ධානය මෙන්ම අනෙක් සියලු කණ්ඩායම් එකට එකතු වී මට සහයෝගය දුන්නා. මගේ නායකත්වය යටතේ මේ අය වැඩකටයුතු කළා. දැන් ඒ සියලු දෙනා එකට එකතු වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් මෙන්ම මා සමග වැඩ කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් කොටසක් ද එකට එක්වී මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ අය ඉදිරිපත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙනුයි. මගේ නායකත්වය යටතේ ඒ අය මේ ඡන්ද වැඩකටයුතු කරන්නට යනවා. මේ සියලු දෙනාටම ඒ පළපුරුද්ද තිබෙනවා. ඒ අය නිසි පරිදි මේ වැඩ කටයුතු කර තිබෙනවා.
මා සමග ඉකුත් වසර දෙකේ වැඩකටයුතු කළ අයට ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා පළපුරුද්ද තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.
විපක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුවේ සිටියත් මේ පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ. එමෙන්ම එවිට ඉලක්ක ලබා ගැනීමේදීත් අසාර්ථක වෙනවා.
එම නිසා එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු කළ අයත් අපට සහයෝගය දුන් පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම නව සන්ධානයේත් අනිත් පක්ෂවල සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙසයි.

එමෙන්ම මීට පෙර අවස්ථාවේ ඡන්දය නුදුන් අයගෙන් ඉල්ලීමක් කරනවා. රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් මේ පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

නව පාර්ලිමේන්තුවෙන් තීරණය වන්නේ ඔබේ අනාගතයයි.අප සාර්ථකව මේ වැඩ කටයුතු කරනවා නම් රටක් ලෙස ගොඩ එන්න පුළුවන්. අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයට ගමන් කරනවා. එම නිසා ගෑස් සිලින්ඩරයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා..” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශය සිදු කරමින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35