හැඟීම්වලින් හෝ ඉවෙන් ගැටලුවලට විසදුම් සෙවිය නොහැකියි – ජනපති අනුර (වීඩියෝ)

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකරදීමේ දී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කර සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර, කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳවත්, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරුණා.

2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය හා අදාළ ප්‍රතිපාදන භාවිත කරමින් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී විමසා ලැබුවා.

දකුණු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වසරට මිලියන 574ක් වෙන් කර තිබුණද, එයින් දැනට වැය කර ඇත්තේ රුපියල් මිලියන 23ක් පමණක් වන බවද, එය ආසන්න වශයෙන් 4%ක ප්‍රගතියක් බ වද මෙහිදී අනාවරණය වුණා.

ඒ පිළිබඳව මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා, මෙම වසර අවසන් වීමට පෙර අදාළ ප්‍රතිපාදන ජනතා අවශ්‍යතා වෙනුවෙන් නිසි පරිදි වැය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

මහවැලි අධිකාරියට අයත් ඉඩම් නිරවුල් කිරීම ඇතුළු ඉඩම් ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ විවිධ බලඅධිකාරින්ට සහ අයථා ගනුදෙනු සඳහා ඉඩම් ලබා දෙනවා වෙනුවට, වඩාත් සුදුසු අයට සහ ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායක කටයුතු සඳහා ඉඩම් ලබාදීමේ සංස්කෘතියක් රටට අවශ්‍ය බවයි.

හැඟීම්වලින් හෝ ඉවෙන් ගැටලුවලට විසදුම් සෙවිය නොහැකි බවත්, ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් අවශ්‍ය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ මත පදනම්ව ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවද සඳහන් කළා.

නිලධාරි හිඟය ඇතුළු රාජ්‍ය ආයතනවල ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, නටඹුන් වූ රාජ්‍ය සේවය යළි ශක්තිමත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බවත්, වසර 05කට පසු රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල රාජකාරී කරන පිරිසගේ රාජකාරී පහසුව වෙනුවෙන් අවශ්‍ය වාහන ලබාදීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවද පැවසුවා.

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා ‍විමසා බැලූ අතර, වනඅලි ගැටලුවට විසඳුම් ලෙස යෝජනා කෙරෙන අලි කොරිඩෝව ඉදිකිරීම සඳහා හඳුනාගෙන ඇති ඉඩම් පෞදගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ කුමන පාර්ශ්වයකට අයත් වුවද එම ඉඩම් පවරා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ගැටලු මෙන්ම ධීවර වරාය ආශ්‍රිත ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡවට ලක් වුණා.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු ඒකකයේ වැඩ නිමකිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 70ක ප්‍රතිපාදන ලබාදෙන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ඉදිරිපත් කළ ලිපියක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර එම ප්‍රතිපාදන වෙන්කර දීමට පෞද්ගලිකවම මැදිහත්වන බව පැවසුවා.

අතීතයේ රටක සංවර්ධනය මැනීම විශාල ගොඩනැගිලි ඉදිකිරීම මත සිදු වුවද, වර්තමානයේ රටක සංවර්ධනයේ මිනුම් දණ්ඩ බවට පත්ව ඇත්තේ තාක්ෂණය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක් සිදුකිරීම රජයේ මූලික සැලැස්මක් බවද සඳහන් කළා.

ඒ, වෙනුවෙන් පුරවැසියන් තුළ සංස්කෘතික වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා, එළැඹෙන සැප්තැම්බර් මාසය රට තුළ ඩිජිටල් සංස්කෘතියක් ඇති කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සැලසුම් කර තිබෙන බව ද පැවසුවා.

ඩිජිටල් ලෝකය තුළ අපේ රට නව අනන්‍යතාවකින් හඳුනාගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි නව පිම්මක් සනිටුහන් කරනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතිය පිළිබඳ විධිමත් සමාලෝචනයක් සිදුකර සැලැස්මක් ලබාදෙන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා, එය සියලු දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලැබෙන, මානව සම්පත හොඳින් කළමනාකරණය කෙරෙන සහ සම්පත් උපරිමයෙන් භාවිතයට ගැනෙන සැලැස්මක් විය යුතු බවද අවධාරණය කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28