හාරකෝටියකට වැඩි හෂීෂ් චොක්ලට් පැකට් තුළ සඟවා රට තුළට ගේන්න හදලා

රුපියල් හාරකෝටි හැත්තෑ හත් ලක්ෂ අසූදහසක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (10) අලුයම මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම සැකකරු අද (10) අලුයම 12.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ චොකලට් ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15ක් තුළ මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 778ක ප්‍රමාණය සඟවා තිබිය දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (10) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.