ජය ශ්‍රී කිව්ව ගමන් රෝහිත ජයලත්ව සහ රොහාන් ජයලත්ව මතකයට නැඟුණට අද වෙද්දී ජය ශ්‍රී කියන්නේ ඔවුන් දෙදෙනාගෙන් පමණක් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් නෙමෙයි. එය ලෝකයේ මහාද්වීප තුනක් නියෝජනය වන පරිදි විවිධ රටවල් 4ක සංගීතවේදීන් 7 දෙනකුගෙන් සෑදුණු සංගීත කණ්ඩායමක්. ජය ශ්‍රී විසින් ශ්‍රී ලාංකේය සමාජය තුළ ඇති කරපු ජය ශ්‍රී උන්මාදය එදා වගේම අදටත් එක සේ වලංගු කාරණාවක්. ඒ කෙසේ වෙතත් පසුගියදා දවසක ජය ශ්‍රී සම්බන්ධව තරමක් වැඩිපුර කතා වෙන්න පටන්ගන්නේ ජය ශ්‍රී කණ්ඩායමේම සාමාජිකයෙක් ලෙස හිටපු අරුණ ලියාන් විසින් කණ්ඩායමේ ඇතැම් ගීත සම්බන්ධව යම් අයිතියක් කියාපෑමත් එක්ක.
ජය ශ්‍රී කණ්ඩායමට ගීත 20ක් ගායනය කිරීමට තහනමක් පැවැරීම සම්බන්ධව විවිධ මතිමතාන්තර නැඟෙනවා. මේ සම්බන්ධව ඔබ නීතිමය පියවරක් අරගෙන තිබෙනවාද?
මම නම් ඔය සම්බන්ධව ලොකුවට කතා කරන්න කැමැතිත් නැහැ. මොකද අපිට මේ වෙද්දි ඒ සම්බන්ධව කිසිම ලියවිල්ලක් ඇවිල්ලා නැහැ. මීඩියාවලින් තමයි අපිත් ඔය සිද්ධිය දැනගන්නේ. මොනදේ වුණත් අපි ඉන්නේ රටක නීතියට ගරු කරන්න අවශ්‍යයි කියන තැන. 31 වැනිදා මේ සම්බන්ධව පිළිතුරක් ලැබෙනකන් අපි නොඉවසිලිවන්තව බලාගෙන ඉන්නවා. කොහොමත් 31 වැනිදා වෙනකන් තමයි අපට ඔය ගීත 20 ගායනා කරන්න එපා කියලා තිබෙන්නේ. එතැනින් පස්සේ කරන්න ඕන දේ සම්බන්ධව නීතියෙන් දැනුම් දෙයි. මේ සම්බන්ධව අනෙක් පාර්ශ්වයෙන් පමණක් මේ වෙනකොට චෝදනාව එල්ල වී තිබෙන නිසා අපෙනුත් ඉස්සරහට මේ ගැන තොරතුරු ගනියි. ඊට අමතරව අපිත් මේ සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාගෙන ඉන්නවා. අනෙක්් වැදගත්ම දේ අපි මේ ගීත 20 කිව්වේ නැහැ කියලා මැරෙන්නේ නැහැනේ. වෙන ඕනෑම දෙයකට අපි ලෑස්ති වෙලා ඉන්නවා.
මේ ගැටලුවට සම්බන්ධ අරුණ ලියාන් ජය ශ්‍රී කණ්ඩායමෙන් ඉවත්වෙන්නේ මීට වසර 18කට කලින්. ඉතින් එදා උද්ගත නොවූ ප්‍රශ්නයක් අද ඇති වෙන්න හේතු වූ කරුණු මොනවාද?
ඒකටනම් හේතුව අපි දන්නෙත් නැහැ මොකක්ද එක පාරටම එහෙම ප්‍රශ්නයක් උද්ගතවෙන්න හේතුව වුණේ කියලා. අපි අපේ සින්දු කියන්න කාටවත් තහනම් කරලත් නැහැ. අපේ සින්දු ‘ජය ශ්‍රී’ සින්දු විධියට අපි කියනවා. ඒ වගේම අනෙක් අයටත් තහනමක් නැතිව කියන්න අවසර දීලා තියෙනවා. අපේ සින්දු සමහරු වේදිකාවල කියනවා. ටෙලිවිෂන් එකේ කියනවා. ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. කර්තෘ භාග සම්බන්ධයෙන් මම අර මුලින් කිව්වා වගේ ක්‍රමවේදයක් හැදෙනවා නම් හොඳයි. නමුත් එහෙම එකක් නැති තැනදී අපි නම් අපේ ගීත ඕනෑම කෙනෙක් ප්‍රසංගයකදී කියලා හම්බ කරගෙන කනවානම් ඒකට මුකුත් කියන්න යන්නේ නැහැ. ඒක ඇත්තටම අපිට පිනක්. ඒ වගේම අපි හැමෝම මිනිස්සු කියන තැනින් අපි හැම වෙලාවෙම හිතන්නේ.
මේ ප්‍රශ්නයත් සමඟ revenue sharing සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල විශාල කතා බහක් ඇතිවුණා. ගීතවල මුල් අයිතිකරුවෙක් යැයි කියා පෙනී සිටින අරුණ ලියාන්ට ඇත්තටම කිසියම් මුදල් කොටසක් වෙන් වුණේ නැද්ද?
අපේ ගීත ඔක්කොම ලියාපදිංචි කරලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ. අපි show එකක ඒ ගීත ගහනකොට අපි ඒ සින්දු ලිස්ට් එක එතන ඉන්න සංවිධායකවරයාට දෙනවා. එතකොට ඒ සංවිධායකවරයා විසින් AKM කියන ආයතනයට කිසියම් ගෙවීමක් කරනවා. එතකොට ඒ ආයතනයෙන් ඒ ගීතය ලියලා තිබෙන්නේ කවුද, ඒකෙ මෙලඩි එක හදලා තියෙන්නේ කවුද කියලා බලලා ඒ ආකාරයෙන් ඒ ඒ අයට බෙදනවා. ඒක කිසිම කෙනෙක්ට අතදාලා මට මේ කොටස ඕන කියලා ගන්න බැහැ. සින්දුව මමම ලියලා තියෙනවා නම් 50%ක් මට එනවා. පාර්ශ්ව තුනක් විතර සම්බන්ධ නම් ඒක සමානුපාතිකව තුන්දෙනා අතර බෙදෙනවා. ඒ ඒ අයගේ එකවුන්ට්ස්වලට ඒ ඒ මුදල යනවා. අපේ මේ ප්‍රශ්නයට සම්බන්ධ පුද්ගලයා ගත්තත් ඔහුටත් ඒ මුදල එදා සිට අද දක්වාම බෙදිලා යනවා. රේඩියෝ එකක සින්දුවක් ගියත්, ප්‍රසංගයක කිව්වත් ඒකෙන් මුදලක් ඔහුට යනවා.
ඔබ ඇතුළු කණ්ඩායමට මේ ගැටලුවේදී මූලිකම චෝදනාව එල්ල කරන්නේ copyrights සම්බන්ධව. ලංකාව වැනි රටක ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් විධිමත් නීතිමය රාමුවක් නැති වීමේ ගැටලුව ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?
අපේ තියෙන සින්දු සේරම ජාත්‍යන්තරව ඔස්ට්්‍රයාවේ තියෙන AKM කියන ආයතනයේ අපි register කරලා තියෙන්නේ. එහෙම කළේ අද ඊයෙක නෙමෙයි. අවුරුදු 20කට කලින්. ඒ කියන්නේ 2000දී. මම හිතනවා ලංකාවේත් එහෙම තැනක් තිබිය යුතුමයි කියලා. එහෙම තිබුණා නම් ගීත සම්බන්ධව සිද්ධ වෙන අක්‍රමිකතා, වංචා කියන සියල්ල අඩුවෙනවා. අනිත් දේ ලංකාවේ collecting society එකක් නැහැ. copyrights සම්බන්ධව නීතිමය වශයෙන් ක්‍රියා කරන්න කිසිම විධිවිධාන තිබුණත් ඒවා සාර්ථක නැහැ. ඒකයි ගොඩක් ප්‍රශ්න ක්‍ෂේත්‍රය තුළ පැනනඟින්නේ. මෙහෙම ප්‍රශ්න ඇති වෙනකොට නම් ඔන්න මේ සම්බන්ධව නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්න, නීතිමය විධිවිධාන ස්ථාපනය කරන්න කට්ටිය උත්සුක වෙනවා. ඉතින් ඉදිරියේදී හරි එහෙම වෙනවා නම් ඇත්තටම හොඳයි. ලංකාවේ collecting society එකක් හදන වැඩේ ඇතුළේ මමත් ඉන්නවා. අපි දැන් අවුරුද්දක් තිස්සේ ඉඳන් ඒකෙ meetings වලට යනවා.
ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙලත් සමාජ ජාලාවල සියල්ලක්ම ‘ජය ශ්‍රී’ ලාගේ පැත්තේ සිටගන්න තරමට ශක්තිමත් සන්නාමය (A brand with zero haters) ඔබ බිහිකොට තිබෙනවා. එවැනි සන්නාමයක් හදන්න ඔබ කරපු දේවල් මොනවද?
ඒක මෙහෙම එකක් කියලා මට කටින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. සමහරවිට ඒක දෙවියන්ගෙන් ලැබුණ දෙයක් වෙන්නැති. මම හිතන්නේ මෙතැනදී වැදගත්ම දේ වුණේ අපි සරලව ජීවත්වන මිනිස්සු. ඒ සරලකමට අනෙක් මිනිස්සු කැමැති වුණා. අපි stars ලද අපි international ගියාද වගේ කාරණා සලකා බලන්නේ නැතිව අපි යන හැම ගමනක්ම ගියේ පොඩි බට්ටා වෑන් එකක. ඒ යන අතරමඟ අපි පොල් අතු කඩයක් හමුවුණොත් නතර කරලා වඩයක් කෑවා. ප්ලේන්ටියක් බිව්වා. අපෙන් සෙල්ෆියක් ගහමුද අයියේ කියලා අහපු කොල්ලො කෙල්ලෝ එක්ක සෙල්ෆියක් ගැහුවා.
celibrity කියන වචනෙ අපි කිසිම වෙලාවක කරදරයක් කරගත්තේ නැහැ. අනෙක් දේ අපි අපේ සමහර ගීතවලින් සමාජෙට ලොකු පණිවුඩයක් දුන්නා. හනුමන්තා වගේ ගීතයකින් එදා දුන්න පණිවුඩය ගැන සමහර මිනිස්සු අදටත් කතාවෙනවා. සමහරු ජය ශ්‍රී කියන්නේ ආගමක් කියලා කියනවා. තව පැත්තකින් අපි මිනිස්සුත් එක්ක සමාජ සේවාමය කටයුතුවලටත් හැකි පමණින් හැකි හැමවිටම දායක වුණා. Rotaract club වගේ දේවල් වලින් ආපු ඉල්ලීම් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩ කළා. ගස් හිටෙව්වා. මම හිතන්නේ මිනිස්සු එක්ක බැ¾දුණු ජීවිතයක් ගත කළ නිසා තමයි මිනිස්සු අපිට මේ තරම් කැමැති වුණේ.
කවර ක්‍ෂේත්‍රයක් ගත්තත් duo consistence එකක් හදන්න උත්සාහ කරන බොහෝ අය අතරමැදදී අසාර්ථක වෙනවා. රෝහිත ජයලත්ට සහ රොහාන් ජයලත්ට මෙච්චර කාලයක් ප්‍රශ්නයක් නැතිව දුර ගමනක් එන්න අවකාශය ගොඩනැඟුණේ කොහොමද?
අපි දෙන්නා ගැන කතා කළොත් අපි දෙන්නාගේ බැඳීම තියෙන්නේ අම්මගේ කුසේ ඉඳලා. අපේ බැඳීම වෙනමම එකක් කිව්වොත් හරියටම හරි. අපි නිවුන්නු. හැබැයි සහෝදරයෝ වුණත් අපි හැම තැනකදීම හොඳම යාළුවෝ වගේ වැඩ කළා. මම හිතනවා මෙච්චර දුරක් එකට එන්න බලපෑම් සහගත වුණු මූලිකම කාරණාව ඒක. මගේ වැරැද්දක් වෙනකොට එයා ඒක හැමවෙලාවෙම මට පෙන්වලා දුන්නා. එයා වැරැද්දක් කරනකොට මම එයාට ඒක වැරදියි කියලා තේරුම් කරලා දුන්නා. අනෙක් දේ අපි දෙන්නාගෙන් එක්කෙනෙක්ට නෙමෙයි දෙන්නටම සංගීතය කෙරෙහි ලොකු පිස්සුවක් පොඩි කාලෙ ඉඳලම තිබුණා. බැරි වෙලාවත් එක්කෙනෙක්ට ඒක අඩු වුණා නම් මෙච්චර කල් පවතින්න බැහැ. අනෙකාට අනෙකා ශක්තියක් වීම තමයි අපේ බන්ධනයේ රහස බවට පත්වුණේ. එකිනෙකාට එකිනෙකා ශක්තියක් වෙනකොට ලොකු දුරක් යන්න අවශ්‍ය පසුබිම කොහොමත් හැදෙනවා.
මාල, කරාබු, දම්වැල්වලින් සන්නද්ධ ෆැන්සි පන්නයේ වර්ණවත් ඇ¾දුම ජය ශ්‍රී ලා භාවිත කරන්නේ අලෙවිකරණ උපක්‍රමයක් ලෙස කියලා මම කිව්වොත්?
මම හිතන්නේ හැම මිනිහෙක්ටම අනන්‍යතාවක් තිබෙන්න ඕන. ඒක මම මෙහෙම කරන්න ඕන, මෙහෙම අඳින්න ඕන, මෙහෙම කොණ්ඩෙ හදන්න ඕන කියලා හිතලා කරගන්නවට වඩා ස්වභාවිකව තමන්ගේ ඇඟෙන්ම එන දෙයක්නම් හොඳයි. අපි දෙන්නටම තිබෙන්නේ එහෙම ස්වභාවිකම ආපු විලාසිතාවක්. අපි ෆැෂන් කරන්නේ නැචුරල් විධියට. නැතිව අලෙවිකරණය සඳහා හිතලම කරන දෙයක් නෙමෙයි. නමුත් එහෙම කරනකොට ඒක හොඳ අලෙවිකරණ උපායක් බවට පත්වෙනවා. මම කොහොමත් අඳින්නේ මට ඕන විධියට. එතකොට මගේ මල්ලි රොහාන් අඳින්නේ එයාට ඕන විධියට. එයානම් එයාගෙ ඇදුම් පැලදුම් තනියමම හදාගන්න කෙනෙක්. ඇට ගෙනැල්ලා එයාට ඕන කරන මාල එහෙම එයාම හදාගන්නවා. ඊට පස්සේ ඒවා දාගෙන සාමි කෙනෙක් වගේ තමයි එයා නිදාගන්නෙත්. ඒ ෆැෂන් එක්ක තමයි ජීවත්වෙන්නෙත්. අපි වේදිකාවේ කරන රඟ දැක්වීමට උචිත විධියට අපි designs තෝරගන්නවා. නිකමට හිතන්නකෝ අපිත් අනෙක් අය වගේ කෝට් එකයි ටයි එකයි දාලා බැස්සොත් අපිට අපේ වැඩේ හරියට කරලා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න පුළුවන් වෙයිද? එහෙම කරන්න බැහැ. අපි, අපි විධියටයි විලාසිතා තෝරගන්න ඕන.
ජය ශ්‍රී තොප්පි, ජය ශ්‍රී ඇදුම් ආදී වශයෙන් නව විලාසිතා අයිතම නිර්මාණය කරමින් ඔබ ජය ශ්‍රී වටා බැදුණු සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්නේ ව්‍යාපාරික මුහුණුවරකින් තොරව දැන් ක්‍ෂේත්‍රයේ පවතින්න බැරි නිසාද?
මම හිතන්නේ අපි ව්‍යපාරික මුහුණුවරකින් ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නේම ඒකට අවශ්‍ය පිරිස අපි වටේ හැදිලා තියෙන නිසා. අපි විධියට අඳින අය, අපි විධියට පලඳින අය අපි විධියට ස්ටයිල්ස් කරන අය ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. අපි විධියට ෆැෂන් කරන අය සංගීත කණ්ඩායම්වල ඉන්නවා. අපි විධියට විලාසිතා කරපු අය පාරවලදී ඕනෑතරම් හමුවෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ඉල්ලීම, ඒ වැලඳගැනීම අපි වටේ කොහොමත් හැදිලා තිබුණා. අපි ව්‍යාපාරික මුහුණුවරකින් ක්‍රියාත්මක වෙලා ඒක හැදුවා නෙමෙයි. ඉල්ලීම තිබෙන නිසා ඒකට සැපයුමක් දෙන්න අපි විවිධ තොප්පි, බෑන්ඩ්ස්, ඇදුම් ආදිය අලෙවි කරන්න පටන්ගත්තා. අපි ඒ හදපු ඒ සංස්කෘතිය ඇතුළේ ජීවත්වෙන්න කැමැති මිනිස්සුන්ට අපි අපේ නිෂ්පාදන එළියට ගෙනාවා. අනෙක් වැදගත්ම දේ අපි ඕවා අලෙවි කරලා ඒ ලැබෙන මුදල් සියල්ලම දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවනවා.
චේ ගුවේරාගේ සහ බොබ් මාලිගේ කැරිස්මාව සහ ඔවුන් වටා තිබුණු ශ්‍රී ලාංකේය රසික ආකර්ෂණය ජය ශ්‍රී ලාට ක්‍ෂේත්‍රය තුළ වෘත්තීමය වාසියක් අත්පත් කරලා දුන්නා කිව්වොත්?
ඒ වගේ දෙයක් නම් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. මොකද චේ ගුවේරා, බොබ් මාලි කිව්වම ඔබ කිව්වා වගේ ඔවුන් වටේට ලොකු ආකර්ෂණයක් ගොඩනැඟිලා තිබෙනවා. ඒ ආකර්ෂණය ලංකාවේ මිනිස්සු තුළත් තියෙනවා. ඉතින් බොබ් මාලිගේ, චේ ගුවේරාගේ ඒ තිබ්බ humanity එකල ඒ තිබ්බ love එක ලංකාවේ මිනිස්සුන්ට අපෙන් ළඟා කරගන්න පුළුවන් වෙනකොට ඔවුන් අපිට ආදරේ කරන්න පටන් ගන්නවා. බොබ් මාලිගෙන්, චේ ගුවේරාගෙන් පස්සේ ජය ශ්‍රීලා තමයි කියන තැන ගොඩක් අය ඉන්නේ. අපි ඒක දැකලා සහ අත්විඳලා තියෙනවා.
අපි ඔය down south පැත්තට එහෙම යද්දී ත්‍රීවීල්වල බොබ් මාලිගේ ෆොටෝ එකට යටින් අපේ ෆොටෝ එක ගහලා. සමහර තාප්පවල චේ ගුවේරා එක්ක අපේ රූපෙත් ඇඳලා. සමහර බෝට්ටුවල ජය ශ්‍රීලගේ පින්තූර ප්‍රින්ට් කරලා. ඉතින් ඒ ගැන අවංකවම සතුටුයි. මම හිතන්නේ චේ ගුවේරාගේ, බොබ් මාලිගේ වටා ගෙතුණු ආකර්ෂණය ලංකාවේදී අපට කැරකුණා කියලා කවුරුහරි හිතනවා නම් ඒකට මූලිකවම බලපෑම් සහගත වුණේ ඔවුන්ගේ style එක විතරක් දෙකක follow නොකර අපි ඔවුන් ආදරය බෙදාගත්ත ආකාරයෙන්ම අපේ රසිකයන් සමඟ ආදරය බෙදාගත්ත එක. අනෙක් දේ අපි සංගීත සන්දර්ශනවලදී ඇති කරපු vibration එකත් ඔය කියපු එක ගොඩනඟන්න බලපෑම් සහගත වුණා.
ප්‍රමේෂ් වික්‍රමසිංහ
උපුටාගැනීමකි.