සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබාදීම රජයේ අරමුණයි – ජනපති කියයි (වීඩියෝ)

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වල දී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ මෙම දෙසැම්බර් 31 වනදාට පෙර නිම කරන ලෙසත්, එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබුවා.

ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති අතර, අවශ්‍යව ඇත්තේ මෙම හදිසි අවස්ථාවේ සීමා නොසළකා මනා සම්බන්ධීකරණයෙන් සියලු ආයතන තම වගකීම ඉටුකිරීම බවද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ඊයේ (08) පස්වරුවේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 19,133කට අයත් පුද්ගලයන් 64,140ක් පීඩාවට පත්ව සිටින අතර නිවාස 418කට පූර්ණ හානි සහ නිවාස 7,703කට අර්ධ හානි සිදුව තිබෙනවා.

හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය, විදුලිය, ජලය, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, කෘෂිකර්මාන්තය යළි ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රය, මිරිදිය ධීවර කර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබඳ මෙහිදි ජනාධිපතිවරයා වෙන් වෙන්ව කරුණු විමසා සිටියා.

මාර්ග සංවර්ධනයේදී මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන මාර්ග ලෙස බෙදා වෙන් නොකර සියලු මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සමාන්තරව සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ස්ථීර ප්‍රතිසංස්කරණ අවශ්‍ය සමස්ත මාර්ග පිළිබඳ ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා, ජනවාරි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට ප්‍රතිපාදන ලබාදිය හැකි බව සඳහන් කළා.

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සේවා සැපයුම්වලින් 90%ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බව සඳහන් කළ නිලධාරීන් ඉතිරි ඒවාද කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත්, දිස්ත්‍රික්කයේ ජල සැපයුම අවශ්‍ය පරිදි ලබා දීමට පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන්නා.

පාසල් යළි ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් ගෙවා අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වගා බිම් අක්කර 6,711කට හානි සිදුව තිබෙන අතර අදාළ ගොවින් සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් වන්දි ලබා දී, යළි වගාව සඳහා යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

එමෙන්ම මහ කන්නය යළි අස්වැද්දිය හැකි අන්දමින් ගොවි බිම් සඳහා තාවකාලිකව හෝ ජල සැපයුම් ලබාදීමට කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලටද පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව මෙම සතියේ කැබිනට් තීරණයකට එළඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

විනාශ වූ සහ හානි සිදු වූ නිවාසවලට වන්දි ලබාදීම සහ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

එමෙන්ම කඳවුරුවල ජීවත්වන ජනතාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෙම සියලු කාර්යයන්හීදී අසීමිත කැපවීමකින් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට, රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ස්තූතිය පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18