සමරිසි ලිපිය සම්බන්ධයෙන් විජිත හේරත් ඇතුළු පිරිසකට නොතීසි

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කරතිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය විසින් ප්‍රකාශ කර තිබෙන කරුණ ජනමාධ්‍යවලින් වාර්තා කර තිබූ බවයි.

රජය එසේ ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණද මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ සඳහන් කළා.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරණ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ කනිෂ්ක විතාරණ මෙහිදී චෝදනා කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඒ පිළිබඳ දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරසී ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය පළ කර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.

මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නාහිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියා.

ඊට අමතරව විදේශ අමාත්‍යවරයාද එම ප්‍රකාශයම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සංකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නායකත්වය ගන්න අපි සූදානම් - ඇත්ත කිව්ව හින්දයි අපි පැරදුනේ
24:43
Video thumbnail
අනුර ෆේල් - අනාගත ජනාධිපති සජිත්
01:15
Video thumbnail
බස් ගාස්තු වැඩිකිරීම මදිනේ අප්පා - තව වැඩිවෙන්න ඕනේ
05:56
Video thumbnail
ආයේ තෙල් මිල වැඩි කළොත් ආයේ බස් ගාස්තු වැඩිකරන්න වෙනවා
06:05
Video thumbnail
බයික් එකකින් ආපු ඩබලක් බස් රථය කුඩු කරලා ගිහින්
01:40
Video thumbnail
සංචාරකයින් දිරිගන්වන්න නව වැඩසටහනක්
01:42
Video thumbnail
මහින්ද මහත්තයාට හොරා හොරා කියපු එවුන් අද බැහැපල්ලා එළියට
02:48
Video thumbnail
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුව අගමැතිනි හමුවෙයි
01:49
Video thumbnail
රට අනුරට නෙමෙයි, රට බල්ලට ගිහින් - මහින්දට හොරා හොරා කියපු එවුන් බැහැපල්ලා එළියට
06:20
Video thumbnail
ජනතාව පෝලිමේ දාලා පක්ෂයට වාහන ගන්න සල්ලි එකතුකරනවා
09:25