spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ මිලියන මිලියන 12.3ක් අවදානම් ආර්ථික මට්ටමක

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16න් මිලියන 12.3ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම මෙලෙස අවදානමට ලක් ව ඇති බවයි සඳහන් වන්නේ. ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්ත්වයක්. පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි ප්‍රතිශතය 71.8%ක් බව සඳහන්. අවමය වූ 41.5% වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙන්.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීයි. රජයේ සමාජ සුබසාධන වැඩපිළිවෙල, සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමාජ ආරක්ෂණ මණ්ඩලය, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

අදාළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමේ දී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කර තිබෙනවා.

මෙහිදී කමිටු සභාපතිවරයා සඳහන් කළේ අදාළ වාර්තාව ප්‍රකාරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අංශ තුනක් යටතේ මෙම අවදානම් තත්ත්වය පෙන්වා දී ඇති බව යි. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වභාවික විපත්, ජීවන මට්ටම් එම අංශ තුනයි. දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු අවදානම් කලාපයෙ සිටින බවත්, අවුරුද්දක් ගතවද්දී මේ තත්ත්වය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු දක්වා වර්ධනය විය හැකි බවත්, සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

එබැවින් අවදානම් අඩියේ සිටින ජනතාව උදෙසා විධිමත්, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් සකස් කිරීමේ අවශ්‍යතාව රණවක මහතා විසින් අවධාරණය කරනු ලැබුවා. සිසුන්ගේ පාසල් පැමිණීම, සෞඛ්‍යය, ජලය, ආහාර, විපත්වලට මුහුණ දීමේ හැකියාව, අනුගත වීමේ හැකියාව, ජීවන තත්ත්වය, දේපළ, විරැකියාව, සරිලන රැකියාවක් නොමැති වීම, ණයගැති බව ඇතුළු කරුණු 12ක් මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සළකා බලා තිබෙනවා.

මෙහිදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ‘අස්වැසුම’ ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා. 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් මෙම සමීක්ෂණය සිදු කරන ලද අතර, මේ සඳහා අයදුම්පත් පවුල් මිලියන 3.7ක් ලැබී තිබෙන අතර, දත්ත ලබා ගැනීම පවුල් මිලියන 3.5කගෙන් සිදු කර ඇති බවයි මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළේ. ඉන් පවුල් මිලියන 1.79ක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරා ගෙන තිබෙනවා. මේ සඳහා අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික මට්ටම ඇතුළු නිර්ණායක 20 කට වඩා සළකා බලා ඇතැයි සඳහන්.

මෙහිදී මේ ආකාරයෙන් නිර්ණායකයන් විශාල ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් සමීක්ෂණ කටයුත්ත ආසාර්ථක වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. ඊට අමතරව, අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ දී වැරදි නිර්ණායක ලබා දීම, සමෘද්ධිලාභීන් ලක්ෂ 4ට අධික ප්‍රමාණයක් අයදුම්පත් භාර දී නොතිබීම, නිසි ලෙස දත්ත සහ තොරතුරු එක් ‍රැස් නොකිරීම, අභියාචනා ක්‍රියාවලියේ පවතින සංකීර්ණ බව, අයදුම් කරන ජංගම දුරකතන යෙදවුමේ පවතින අඩුපාඩු හේතුවෙන් වැරදි තොරතුරු ඇතුළත් වීම, සමහර තොරතුරු ඇතුළත් නොවීම වැනි ගැටළු රැසක් ද මෙහිදී අනාවරණය වුණා.

කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ, ප්‍රතිලාභීන් තේරීම සඳහා පැවැති ක්‍රියාවලිය විධිමත් කර නිසි ආකාරයෙන් සිදු කිරීම සඳහා හඳුන්වා දුන් නව ක්‍රමවේදය පැවැති ක්‍රමයට ද වඩා අසාර්ථක වී ඇති බවයි. ඊට මූලික හේතුව වශයෙන් ඔහු පෙන්වා දුන්නේ; ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් යන ක්ෂේත්‍රයේ අත්දැකීම සහ පළපුරුද්ද සහිත නිලධාරීන් පිරිස මේ සඳහා යොදා නොගෙන නව පිරිසක් යොදා ගැනීම බවයි. අදාළ පළපුරුදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු හේතුවෙන් මේ සඳහා එක් නොවී ඇති අතර, එම ගැටළු සළකා බලා අදාළ සමීක්ෂණය සඳහා ඔවුන් එක් කර ගත හැකිව තිබූ බව ද රණවක මහතා පෙන්වා දී තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරාගත් ලක්ෂ 17ක පිරිසකගෙන් 2023.07.31 දිනට ලක්ෂ 11ක පිරිසකට ප්‍රතිලාභ ගෙවීම් සිදු කර ඇති අතර, ඉතිරි ලක්ෂ 5 කට වැඩි පිරිස සඳහා ප්‍රතිලාභ ගෙවීම ප්‍රමාද වීමට හේතු කිහිපයක් බලපා ඇති බව නිලධාරීන් මෙහිදී ප්‍රකාශ ක්ලාඅ. බැංකු ගිණුම් විවෘත කිරීම ප්‍රමාද වීම, අභියාචනා සහ විරෝධතා, එකම ජාතික හැඳුනුම්පත් අංකය දෙවරක් හෝ කිහිපවරක් ඇතුලත් වීම, බැංකු ගිණුම් අංක සහ හැඳුනුම්පත් අංක නොගැලපීම, එකම ගිණුම් අංකය විවිධ පුද්ගලයන් විසින් ලබා දීම වැනි දෝෂ එම ප්‍රමාදයට හේතු වී තිබෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඔක්තෝබර් 31 වෙනිදා වන විට මෙම දෝෂ තත්ත්වයන් විසඳාගෙන ඉතිරි පිරිසට ප්‍රතිලාභ ගෙවීම ඇරඹිය හැකි බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ, රට බංකොලොත් භාවයට පත්ව ජනතාව ආදායම් අහිමිව සිටින, ලෙඩ දුක්, ආතතිය, දුප්පත්කම ඉහළ ගොස් ඇති වකවානුවක, තම දුවා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද දැඩි ගැටළු රැසකට සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති බවයි. පසුගිය අවුරුදු 3 ක කාල සීමාව ඇතුළත ආදායම නොවෙනස් ව තිබිය දී වියදම තුන් ගුණයකින් වැඩි වුණා. එවන් අසීරුතාවයකට මුහුණ දී සිටින සමාජයේ අන්ත දුගී බවට පත් ව සිටින මේ සුවිශේෂී පිරිස පරාමිතීන් 20 ගණනක් භාවිතා කර සොයාගැනීම ප්‍රායෝගික හා මානුෂික නොවන බවයි රණවක මහතා පෙන්වා දුන්නේ. විදුලි බිල වැනි කිසිවෙකුට බොරු කළ නොහැකි සරළ පරාමිතියකට මෙම ක්‍රියාවලිය ලඝු කොට හැකි ඉක්මණින් මෙම ප්‍රතිලාභ අවශ්‍ය ජනතාව වෙත මුදා හැරිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා. මහජනයා සමග උරෙනුර ගැටෙන ඒ සමග ගනුදෙනු කළ හැකි ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු පිරිස් මේ සඳහා දායක කරගැනීමේ අවශ්‍යතාව ඔහු නැවත අවධාරණය කරනු ලැබුවා.

නොවැම්බර් පළමු සතිය තුළදී අද ඉදිරිපත් කරන ලද වාර්තාවේ යාවත්කාලීන වාර්තාවක් කමිටුව වෙත එවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් කමිටු සභාපතිවරයා එම වාර්තාව සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය සඳහා යොමු කරවන බව ද ප්‍රකාශ කළා.

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගී ප්‍රජාවගේ සුබසාධන දීමනා ජූලි, අගෝස්තු මාස සඳහා ගෙවා නිම කර ඇති බව ද, සැප්තැම්බර් මස දීමනාව නිදහස් කිරීමට නියමිතව තිබෙන බව ද, මෙහිදී අනාවරණය වුණා. වැඩිහිටි 72000, ආබාධිත 416667 සහ වකුගඩු රෝගී 39150ක පිරිසක් සඳහා ප්‍රතිලාභ නිදහස් කර තිබෙනවා. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල හරහා ද, අනෙකුත් දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ද යොමු කරන බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?