ශ්‍රී ලංකාවට එක් කෝටි අසූ ලක්ෂයක කුෂ් ගෙනා ඉන්දීය ජාතිකයා අද අධිකරණයට

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි විදේශික ගුවන් මගියෙකු ඊයේ (13) දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු 38 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි බස් රථ රියැදුරුවරයෙක්.

සැකකරු ඊයේ දහවල් 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ වූ කායවර්ධන ක්‍රීඩකයින් තම මස්පිඬු වර්ධනය කර ගැනීමට භාවිතා කරන අතිරේක පෝෂජනක කිරිපිටි අඩංගු බෝතල් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 500ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.