විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශය එළිදක්වයි

ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශය එළිදැක්වීම අද (20) සිදු කෙරුණා.

ඒ, කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.

ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම සහ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වූ ජාතික කර්තව්‍යයට විශ්වවිද්‍යාල ප්‍රජාවේ සහය ලබාගැනීම අරමුණු කරගෙන මෙම මාර්ගෝපදේශ සංග්‍රහය එළිදක්වා තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ සම්පත් දායකත්වය ද ඒ සඳහා හිමිව තිබෙනවා.

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න වෙත අදාළ මාර්ගෝපදේශය පිළිගන්වනු ලැබුවා.