විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අය කිරීම නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විනිසුරු සංගම් දෙකක් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඉදිරිපත් වී ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.
එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් පණවා තිබෙන තහනම් නියෝගය ද ලබන 16 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසත් අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබාදුන්නා.
අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම් ඉදිරිපත් කල ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා මහාධිකරණය විනිසුරු වරුන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් විරෝධය පළකර සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස පෙත්සම්කාර විනිසුරු සංගම් විසින් කර තිබෙන ඉල්ලීම පිලිබඳ නියෝගය ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් නියම කරන මෙන් ඉල්ලීමක් කළා.
එම ඉල්ලීමට විනිසුරු සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විරෝධය පළකර සිටියා.
මෙහිදී අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ ලබන 16 වනදා තම අධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන බවයි.
පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ විනිසුරුවරු යනු විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් ඔවුන්ගෙන් අදාළ බද්ද අය කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවයි.
එබැවින් විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අදාළ බද්ද අය කිරීම නීති විරෝධී යැයි තීන්දු කොට එම තීරණය බලරහිත කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විනිසුරු සංගම් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
