විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගඩි රැසක් කෝප් කමිටුවේ දී එළියට එයි

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේ දී විගමනික සංගම් සාමාජිකයින් 5,000 කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 03ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා
රුපියල් මිලියන 63 කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබාගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත් වූ Glocal Fair වැඩසටහන සඳහා රුපියල් මිලියන 1,259 කට අධික මුදලක් ද වැය වූ බව කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වනිදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී යි.

මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නා.

එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 02ක් පමණක් වෙන් කර ඇති බවත්, රුපියල් මිලියන 1,259ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත්, එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේ ද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්ත ද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 05ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව විමසා සිටියා.

කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන්වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම 2013 වසරේ දී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රුපියල් මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත්, කාරක සභාවේදී අනාවරණය වුණා.

කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබාදීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටි අතර, එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූවා.

ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසූ කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්නා.

වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවය ද කාරක සභාව විසින් පෙන්වා දෙනු ලැබුවා.

තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඒ, අනුව එම මුදල භාවිත කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා.

එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත්, ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත්, කාරක සභාවේදී කරුණු පැහැදිලි වුණා.

එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේ දී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත්, එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවේ දී අවධාරණය කෙරුණා.

කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදුකර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34