විදෙස් දුම්වැටි කාටූන් 177ක් සහ විද්‍යුත් දුම්වැටි 110ක් සමඟ තරුණයෙක් මාට්ටු

රුපියල් පනස් පන් ලක්ෂ තිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (18) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙක් .

සැකකරු අද අලුයම 01.05 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ, විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 35,400ක් අඩංගු දුම්වැටි කාටූන් 177 ක් සහ විද්‍යුත් දුම්වැටි 110 ක් සගවා ගෙන පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා .