spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලම්පිටිය සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි

වැල්ලම්පිටිය, කිත්තම්පහුව විවේකානන්ද විහාරය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් තුළදී ඊයේ (28) දහවල් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔහුව එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව බැව් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඝාතනය වී ඇත්තේ මොහොමඩ් සාජාන් නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි. ජාතික හැඳුනුම්පතට අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයා මාදම්පිටිය පාර කොළඹ 15 පදිංචිකරුවෙකි. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දැන් එම පුද්ගලයා පදිංචිව සිට ඇත්තේ එඬේරමුල්ලේ බව යැයි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා සඳහන් කළේය.

මෙම පුද්ගලයා කොළඹ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ ත්‍රිරෝද රථ රියැදුරෙක් බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර, ඒ හැරුණුකොට ඔහු රෙදි මැසීමේ ව්‍යාපාරයකටද සම්බන්ධව සිට ඇත.

මෙම පුද්ගලයා අපරාධවලට සම්බන්ධ අයෙක් බවට කිසිදු තොරතුරක් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී නැති බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. මෙම පුද්ගලයා වැල්ලම්පිටියට පැමිණියේ ඇයිදැයි ඊයේ සවස් වන තුරුම අනාවරණය වී නොතිබුණි.

විවේකානන්ද විහාරස්ථානය ඉදිරිපිට ත්‍රිරෝද රථය නවතා දුරකතන ඇමතුමක් ගනිමින් සිට ඇති බවත් ඒ අතර තුර එතැනට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තැබීම කර ඇති බවත් පොලිසිය කියයි. යතුරුපැදියේ පසුපස අසුන් ගෙන සිටි පුද්ගලයා යතුරුපැදියෙන් බැස මෙම පුද්ගලයා අසලටම පැමිණ හිස ඉලක්ක කර වෙඩි තබා ඇති බවත් වෙඩි පහර හතර පහක්ම පිස්තෝලයකින් එල්ල කර ඇති බවත් පොලිසිය කියයි.දුරකතන ඇමතුම ගනිමින් ඔහු විහාරස්ථානය ආසන්නයේ විනාඩි 10ක් පමණ රැඳී සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. යම් පුද්ගලයෙක් ඔහුව එම ස්ථානයට ගෙන්වා වෙඩික්කරු පැමිණෙන තුරු එසේ දුරකථන ඇමතුමක් ගනිමින් ඔහුව එම ස්ථානයේ රඳවාගෙන ඇති බව පොලිසිය සැක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
5
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?