වාහන ආනයනය කිරීමට අද සිට අවසර (වීඩියෝ)

මෙරටට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා යම් තාක් දුරකට ලිහිල් කරමින් එම අවස්ථාව මෙරට ජනතාවට යළිත් උදා වී තිබෙනවා.

ඒ අනුව අද (18) සිට නැවතත් වාහන ආනයනය කිරීමට හැකි බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චගේ මහතා ප්‍රකාශ කළේ.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා අද දින සිට මෙරටට වාහන ගෙන්විය හැකි කාණ්ඩ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

ඒ අනුව ආසන 25ට වැඩි අවුරුදු 05කට අඩු බස් රථ මෙරටට ගෙන්විය හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

මීට අමතරව විශේෂ කාර්‍යය වාහන සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය රථවාහන ද ගෙන්වීමේ හැකියාව පවතිනවා.

මේ අතර ලබන වසරේ අප්‍රේල් මස 01 වැනි දින සිට පෞද්ගලික කාණ්ඩයේ වාහන සහ සෙසු වර්ගීකරණ යටතේ ඇති වාහන ද ගෙන්විය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් පත්‍රය දෙසැම්බර් මස 14 වැනිදින අත්සන් තබා ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.