වෙන්නප්පුව නයිනමඩමේ පිහිටි හෝටලයකදී පොලිස් නිලධාරියකුගේ සහ පාතාලයේ දෙදෙනකුගේ පහර කෑමට ලක්වූ ව්‍යාපාරිකයකුගේ 22 හැවිරිදි පුතකු බරපතළ තත්ත්වයෙන් යුතුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වෙන්නප්පුව පොලිසියේ තොරතුරු සඳහන් කළේය.
මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පෙරේදා (12) අලුයම් කාලයේදීය.
තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවන්නේ කටුනේරිය ලන්සිගම පදිංචිකරුවෙකු වන එම්.එම්.ක්‍රිෂේන් ප්‍රනාන්දු නමැති තරුණයාය. මුලින්ම මෙම තරුණයාව ඇතුළත් කර ඇත්තේ මාරවිල රෝහලටය.
වීදුරු බෝතලයකින් එම තරුණයාගේ හිසට පහරදී ඇති බවත් එහිදී කැඩුණු බෝතලයෙන් තරුණයාගේ ඉණට ද ඇන ඇති බවත් පොලිසිය කියයි.
මෙසේ එම තරුණයාට බෝතල් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කටුනායක හීනටියන ප්‍රදේශයේ රැඳී සිටින පාතාලයේ ප්‍රබලයෙක් ලෙස පොලිසිය විසින් හඳුනාගෙන සිටින පොඩි කුමාර නමැත්තා විසිනි. ඔහු සමඟ එකට රැඳී සිටිමින් තරුණයාට පහරදී ඇති පොලිස් නිලධාරියා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවට හඳුනා ගෙන තිබේ.
මෙම ප්‍රහාරයෙන් පසු පොලිස් නිලධාරියාත් පාතාලයේ ප්‍රබලයා සහ ඔහුගේ ගෝලයාත් පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.










