රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මඟින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද වන විට ක්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටින බවයි එම පක්ෂය චෝදනා කරන්නේ.
නිවේදනයන් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව සඳහන් කරනවා.
භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් ඇති බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුව බවයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්..
ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළේය.
ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවලදී සංඝයා වහන්සේ ඝාතනය කළහ.
බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි. ජනතා විමුක්ති පෙරමුණ කළ ඝාතනවලට අදටත් සමාව ගෙන නැත. අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්නද?
දේශපාලන වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක පිළිගත්තේ නැත. එසේම හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ බුද්ධාගමට විරුද්ධවය.
මේ අනුව පැන නගින ප්‍රධාන ප්‍රශ්නයකි. එනම් භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගෙන මෙවැනි කටයුත්තක් කළ හැකිද යන්නය. මෙහි සැඟව ඇති චේතනාව කුමක්ද?
විනය විරෝධීව හැසිරෙන සහ අපරාධවල නිරත වෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගත්තේය. භික්ෂූන් වහන්සේ විනය සම්බන්ධයෙන් තීන්දු දීම සඳහා සංඝ අධිකරණය ඇතිකිරීමට එමඟින් ප්‍රතිපාදන සම්පාදනය කෙරිණි.
මාලිමා රජය සිංහල, දෙමළ අවුරුද්දට කළේ කුමක් ද? සියලු නැකත් අවුල් කළේය. මුලු ලෝකයම මැයි පළමු වැනි දින වෙසක් පොහොය ලෙස පිළිගනිද්දී රැලි පැවැත්වීම සඳහා වෙසක් පොහොය දිනය පසුවට කල් දමන ලදී.
ජාතික වෙසක් දිනය සැමරීම සිදුවන්නේ වෙසක් පුන් පොහෝදාය. මෙවර ජාතික වෙසක් දිනය සමරනු ලැබුවේ අඩුම තරමින් රජය නම් කළ දිනයේවත් නොවේ. ඊට පසු දිනක හජ්ජි උත්සවය පැවැත්විණි.
දුස්ශීල භික්ෂූන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ කිසිඳු විරුද්ධත්වයක් නැත. නමුත් භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් පවතී. ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතුය. සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුවය.
ස්වාමීන් වහන්සේලා අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කර තිබේ. එසේ අදහස් දක්වා ඇත්තේ සම්ප්‍රදාය නොදැනය. වැරදි කරන ස්වාමීන් වහන්සේලා සිවුරු පිටින් අධිකරණයට ගෙන යාම අද ඊයේ සිදුවූවක් නොවේ. බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයට තල්දූවේ සෝමාරාම සහ මාපිටිගම බුද්ධරක්ඛිත යන ස්වාමීන් වහන්සේලා සිවුරු දරමින් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිවුරු ඉවත් කරනු ලැබුවේය. එය භික්ෂූන්ට පමණක් සීමා වන්නේද නැත. මැතිව් පීරිස් පියතුමන් පළමුවෙන්ම නීතිමය කටයුතු සඳහා උසාවියට පැමිණියේ ලෝගුව ඇඳගෙනය. ඒ අනුව යමින් මේ වනවිට විනය විරෝධීව කටයුතු කර සිටින භික්ෂූන් වහන්සේලාට ද පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදයම අනුගමනය කළ හැකිය.
විහාර – දේවාලගම් පනත සංශෝධනය සඳහා සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළ බවත්, කැබිනට් මණ්ඩලය ඊට එකඟතාවය පළ කළ බවත් ජනාධිපතිවරයා තම කතාවේදී සඳහන් කළේය. ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ නීතිපති සමගින් සාකච්ඡාවක් පැවැත්වූයේ යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. අඩුම තරමින් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ බෞද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගවත් සාකච්ඡා කළ බවක් දැන ගන්න නැත. එනම් සියලු කටයුතු කර ඇත්තේ තනිවම රජය විසිනි.
ධර්මාධිකරණයක් ඇති කිරිමේ බලය රජයට හිමි නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධර්මය අර්ථ නිරූපනය කිරීමේ බලයක් විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට හෝ නැත. විනය පිළිබඳ නීති සම්මත කිරීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට ලැබී ඇත. එහෙත් අවසන් බලතල පවතින්නේ ඒ ඒ නිකායන් හී කාරක සංඝ සභාවලටය. වර්තමානයේදී මේ කටයුත්ත කර ඇත්තේ බුද්ධාගම පිළිනොගන්නා ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය, නිලධාරීන් සහ සංඝයා වහන්සේ අතලොස්සකි.
වැඩියෙන්ම වත්කම්, දේපොළ ඇති විහාරස්ථාන අද පවතින්නේ විහාර – දේවාල ගම් පනතට අයත් වෙහෙර විහාරස්ථානවලය. මේ විහාරස්ථාන රජයේ පාලනයට ගත යුතුය යන්න ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය බව රහසක් නොවේ. ධර්මාධිකරණය ඇති කරන්නේ මේ සඳහාද යන්න ඒ සමගම ඇතිවන ප්‍රබල සැකයයි.
රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යයි. ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටී. හැමවිටම අද සිදුවන්නේ බෞද්ධ පැවිදි – ගිහි මතය කොන් කිරීමකි.
ජනාධිපතිවරයාගේ කතාවේදී ලෝක බෞද්ධ මහා සම්මේලනය වත්මන් රජය යටතේ මෙරට පැවැත්වීම පිළිබඳව ද සඳහනක් කෙරිණි. එය ප්‍රකාශ කරනු ලැබුවේ බෞද්ධකම පෙන්වීමට බව ඉතාම පැහැදිලිය.
මෙවැනි තත්ත්ව වසල සූත්‍රයෙන් ද පෙන්වා දෙයි.
“න ජච්චා වසලෝ හෝති,
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ;
කම්මනා වසලෝ හෝති,
කම්මනා හෝති බ්‍රාහ්මණෝ.”
එහි සිංහල තේරුම පහත පරිදිය.
“උපතින් කෙනෙකු වසලයෙකු නොවේ.
උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු ද නොවේ.
තමන්ගේ ක්‍රියාව අනුව කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි.”













