යකා නැටූ සුරාබදු නිලධාරීන්ට ක්ෂේත්‍ර රාජකාරී තහනම්

ONE ගෝල්ෆේස් හි ආපන ශාලාවක් තුළ දී එහි සේවකයන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග පරිදි අදාළ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් කිරීම සිදු කර ඇත්තේ.

පසුගිය 5 වනදා අදාළ සාප්පු සංකීර්ණයේ 6 වන මහලේ පිහිටි පීසා අලෙවිසැලක මේසයක් මත තිබූ යතුරුපැදි හෙල්මටයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සුරාබදු නිලධාරීන් පිරිසක් සහ අදාළ අවන්හලේ සේවකයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

සේවය අවසන් කර නිවෙස බලා යාමට සූදානම් වූ සේවකයෙකු තම හෙල්මටය එලෙස මේසය මත තබා තිබූ අතර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එය රැගෙන යාමට උත්සාහ කර යළිත් එය තබා යන ආකාරයයි සී. සී ටී. වී. දර්ශනවල දැක්වෙන්නේ.

එහිදී අවන්හලේ කළමනාකරවරයා සහ ප්‍රධාන සූපවේදියා සමගින් සුරාබදු නිලධාරීන් බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදී සුරාබදු නිලධාරීන් ප්‍රධාන සූපවේදියාට පහරදෙන අතර පසුව පැමිණි තවත් සුරාබදු නිලධාරීන් පිරිසක් ද සේවකයින්ට පහරදී තිබුණා.

එම ගැටුමෙන් තුවාල ලැබූ අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරීන් කිහිපදෙනෙකු ද රෝහල් ගත කෙරුණා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ සුරාබදු නිලධාරීන් බීමත්ව සිට ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණය වන තොරතුරු අනුව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකෙරුණු විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත වාර්තාවක් ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !