Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ ඉපලෝගම සජබ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව මතා ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලාවැව ධීවර තොටුපළේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම මන්ත්‍රීවරයා, තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වන විට කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෙරේදා (11) දිනයේදී මෙම පහරදීම සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඉපලෝගම පොලීසිය මගින් ඊයේ (12) දිනයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවෙනවා.

මේ අතර, තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ ඥාතීන් පිරිසක් අද (13) දිනයේදී කලාවැව කඩවර දේවාලය ආසන්නයේදී නිහඬ විරෝධතාවක නිරත වී තිබුණා.

තුවාල ලැබූ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කරන ලෙස ඉල්ලා සිටියද, මෙතෙක් එසේ මාරු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස විරෝධතාව පළ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද (13) ඉපලෝගම පොලීසිය මගින් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මන්ත්‍රීවරයා ලබන මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව වැඩබලන දිසා මහේස්ත්‍රාත් ගස්සාලි විසින් නියෝග කර ඇති බවට වාර්තාවෙනවා.