මොළයට ගිය විෂබීජයක් 14 හැවිරිදි සිසුවා බිලි ගනී

බෙන්තොට ගාමිණී ජාතික පාසලේ 9 ශ්‍රේණියේ දීප්තිමත් පාසල් සිසුවකුට මොළයට විෂබීජයක් ඇතුළු වීමෙන් මෙලොව හැර යෑමට සිදු වීමේ සෝචණිය පුවතක් බෙන්තොට, හබුරුගල කඩලගොඩ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

බෙන්තොට, හබුරුගල, කඩලගොඩ පදිංචිව සිටි ශානුක අශේන් කන්නංගර (14) නමැති පාසල් සිසුවෙක් මෙසේ මියගොස් තිබේ.

ශානුකගේ නිසල දේහය අසල හැඬූ කඳුළින් සිටි ඔහුගේ මව වන මස්සලගේ චාන්දනී (55) මහත්මිය තම පුතුගේ වියෝව සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.

පුතාට හිසේ කැක්කුමක් හැදිලා දැනට මාස තුන හමාරක් විතර වෙනවා. දන්න කියන හැම තැන්වලින්ම බෙහෙත් ගත්තා. අසනීපය අඩු වුණේ නෑ. පසුව යන්තරයක් දැම්මා. ගුරුකම් කළා. ඒත් සුවයක් නැති නිසා ළමා රෝහලට පුතාව ගෙනිච්චා. අවුරුදු 14යි මාස 2ක් වන නිසා දරුවාට ළමා රෝහලේ බෙහෙත් කරන්න බෑ කියා රෝහලෙන් කීවා. පසුව ජාතික රෝහලට ගෙන ගියා. එහිදී ස්කෑන් පරීක්ෂණයක්වත් කළේ නෑ. හිසරදය නිසා ඇස් රෝහලට යන්න කීවා. ඇස් රෝහලෙන් ලෙඩක් නෑ කියා කණ්ණාඩි දාන්න කීවා. කණ්ණාඩි කුට්ටම දැම්මේ පැය ගාණක් විතරයි . පුතාගේ රෝගය උත්සන්න වුණා. ඉන්පසු බෙන්තර රජයේ රෝහලටත්, එතැනින් බලපිටිය මූලික රෝහලටත් යන විට පුතාට සිහිය නැති වුණා. පසුව කරාපිටිය රෝහලට යැව්වා. එහිදී පුතා මියගියා. කරාපිටිය රෝහලේ දොස්තර මහත්වරු කිව්වෙ පුතාගේ මොළයට විෂබීජයක් ඇතුළුවෙලා කියලයි.

මිය ගිය සිසුවාගේ පියා වන අරුණ ශාන්ත කන්නංගර (56) මෙසේ පැවසීය.

පුතා පාසලේ මෙන්ම දෙද්දුව ගංගාරාම විහාරස්ථාන දහම් පාසලේ දක්ෂ ළමයෙක්. යහළුවන් සමඟ හිතවත්ව වැඩ කළා. ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතාම දක්ෂයි. මාස 3ක් බෙහෙත් ගත්තත් රෝගය සොයා ගන්න බැරි වුණා. ස්කෑන් කරන්න කියා අපට බල කරන්න බෑ. නියමිත වෙලාවට ස්කෑන් කළා නම් දරුවා බේරා ගන්න තිබුණා. මොළයේ සැරව තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි වුණා.

මියගිය ශානුකගේ එකම සහෝදරිය වන දුලානි තරුශිකා කන්නංගර (25) මහත්මිය මෙසේ පැවසුවාය. මට හිටියෙ මල්ලිලා දෙන්නයි. ලොකු මල්ලි හමුදාවට බැඳිලා. මම කසාද බැඳලා වෙන් වී ගිය දා සිට දිනපතා මාව බලන්න මියගිය මල්ලී ආවා. එයා තමන්ගෙ වැඩ තනියම කර ගන්නවා. සංගීත අංශය, ක්‍රීඩා කටයුතු වගේම ඉලෙක්ට්‍රික් වැඩවලට විශේෂ දක්ෂතා දැක්වූවා. එයාගෙ කාමරය ඇතුළේ බුදු පිළිමයක් පිරිසුදුව ලස්සනට තබාගෙන දිනපතා බුදුන් වැන්ඳා. පොඩි මල්ලි නැති අඩුව කවදාවත් පුරවන්න බෑ.

පසුගියදා (10) පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව මොළයට විෂබීජයක් යෑම බවට නිගමනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
17
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !