මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අංශවලට අදාළව දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලුණා.

විශේෂයෙන්, පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේ දී සහ ආරම්භ කළ ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, මේ වසරේ දී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා.

රජය නිසි පරිදි අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබියෙ දී ඒවා නිශ්චිත කාලයක් තුළ නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම් එය ගැටලුවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදී ද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ආණ්ඩු තම හිතුමතේ සිදු කර ඇති ඉදිකිරීම් නිසා මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණඋපයෝජනයක් සහිත රජයේ ගොඩනැගිලි ඉදි වී ඇති බව පැවැසුවා.

පසුගිය කාලයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ පාලම් ව්‍යාපෘති 18ක් අතරමඟ අතහැර දමා තිබෙන බවත්, එම ඉදිකිරීම් නිසා තාවකාලිකව භාවිතා කරන මාර්ග මේ වන විට මඩවගුරු බවට පත්වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් අවසන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අවම වශයෙන් අත්‍යවශ්‍ය පාලම් 05ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නා.

විශේෂයෙන්, චීන සහ ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර නැවත පදිංචිකිරිම්වලට අදාළ නිවාස ව්‍යාපෘති මේ වසරේ අවසන් කිරීමට හැකි බවට නිලධාරීන් මෙහිදී අපේක්ෂා පළ කළා.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින “හෝමාගම ටෙක් සිටි” ව්‍යාපෘතියට අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ “පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ” ඉදිකිරීම් කටයුතු සහ “සිටි බ්‍රෑන්ඩින්ග් ව්‍යාපෘතියේ” වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී විමසා බැලුවා.

දැනට නාගරික ජනතාව වෙත ලබා දී ඇති මහල් නිවාස ඔවුන් වෙත පවරා දීමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරණු අතර, අබලන් නිවාස ඔවුන් වෙත පවරාදීම වෙනුවට, ඒවා ප්‍රතිසංස්කරණය කර ලබාදීමේ වැදගත්කමත්, එසේ ලබාදුන් පසු ඒවා නඩත්තු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේම, අර්ධ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ව්‍යාපෘති සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ ඇති ඉල්ලුම සහ කැමැත්ත පිළිබඳ සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාළ ගෙවීම් කටයුතුවලදී මතුව ඇති නීතිමය ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, එම ගැටලුවලට ලබාදිය හැකි විසදුම් පිළිබඳ යෝජනා සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නා.

රජයේ නිවාස ව්‍යාපෘතිවලින් දැනට ප්‍රතිලාභ නොලබන, එහෙත්, ප්‍රතිලාභ ලැබිය යුතු ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම සහිත ක්‍රමවේදයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ බැංකු සමඟ සාකච්ඡා කර රජයේ දායකත්වය ද සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතිය, කොළොන්නාව වැසි ජල ව්‍යාපෘතිය ඇතුළු ගංවතුර සහ ආපදා තත්ත්ව වැළැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විමසා බැලුණා.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සහාය ඇතිව එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වන බවයි.

ගංවතුර ඇතුළු හදිසි අවස්ථාවලට මුහුණ දීමේ පූර්ව සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති යටතේ යාපනය, මහකොළඹ, මහනුවර, අනුරාධපුරය සහ කළුතර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා වුණා.

පසුගිය රජයන් යටතේ ජල සැපයුම් ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන්වා, විවිධ ප්‍රදේශවල අතහැර දමා තිබෙන ජල නළ උපයෝගී කර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ජල සැපයුම් විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවත්, විශේෂයෙන්, රජයේ මැදිහත්වීම සහිත ඉදිකිරීම් සඳහා උපදේශන සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡාවට බඳුන් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40