මේ දිනවල පවතින අධික රස්නය, දරුවන්ට අහිතකරයි – අවධානයෙන් පසුවන්න

මෙරට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන්ට මෙන්ම සතුන්ටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග දරුවන්ට අපහසුතාවයන් ඇතිවන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

මේ හේතුවෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. විජලනය වළක්වාගැනීම සඳහා වැදගත් වන කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැඳ ආදී දෑ පානය කිරීම වැදගත් වන බව ද, අධික රස්නය හේතුවෙන් හිසරදය, වමනය, නින්ද නොයෑම, ඇතැමුන්ට අධික නිදිමත ගතිය ඇතිවීම මෙන්ම ආහාර රුචිය අඩුවීම ද දරුවන් අතර දැකිය හැකි බව ද සඳහන්.

වෛද්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ, ජලය පානය නොකර දරුවන් පාසල් යාමෙන්, සෙල්ලම් කිරීමෙන් සහ පාරේ ඇවිදීමෙන් ඔවුන්ට විජලන තත්ත්වයන් සහ තාප කම්පන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බවයි.

මෙවැනි උෂ්ණාධික තත්ත්වයක් යටතේ දරුවන්ට සමේ රෝග වැඩිවීම ද දක්නට ලැබේ.නිරන්තරයෙන් දරුවන් නෑවීම, දවසකට දෙවරක් හෝ නෑවීම වැදගත් බව ද අනාවරණය කළ වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.