කොළඹ කිංග්ස්බරි (The Kingsbury) හෝටලයට එරෙහිව හිටපු මහජන ආරක්ෂක අමාත්ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ සීසීටීවී (CCTV) දර්ශන පෙළක් සම්බන්ධයෙන් වැටහීමක් ඇති වන අයුරින් සංස්කරණය කර ඇති බවට චෝදනා කරමින් සරත් වීරසේකර විසින් මෙම එන්තරවාසිය යැවීමට කටයුතු කර තිබෙනවා.
පසුගිය 24 වැනිදා දින තමන් අදාළ හෝටලයට පැමිණි අවස්ථාවේ පටිගත කරන ලද සීසීටීවී දර්ශන වෙනස් කර, තමා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම හෝටල් කාමරයකට එකම හෝ ආසන්න වේලාවක ඇතුළු වූ බවට වැරදි වැටහීමක් ඇති වන අයුරින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි සරත් වීරසේකර චෝදනා කරන්නේ.
කිසිදු හෝටලයක පෞද්ගලිකත්ව ප්රතිපත්තීන්ට හා තම සේවාදායකයාගේ එකඟතාවයකින් තොරව මුල් සීසීටීවී දර්ශන, පිටතට නිකුත් කර තිබීම බරපතල තත්ත්වයක් බවත්, මෙම සිදුවීම නිසාවෙන් තමන් දැඩි මානසික පීඩාවකට, කීර්තිනාමයට හානියකට සහ අන්තර්ජාල හිරිහැරවලට ලක්ව ඇති බවත්, සරත් වීරසේකර එම එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා.
හෝටලය විසින් වගකිවයුත්තන් හඳුනාගෙන, ප්රසිද්ධියේ සමාව අයැද, දර්ශන ඉවත් කරන ලෙස ඉල්ලා සිටින හිටපු අමාත්ය සඳහන් කර ඇත්තේ, දින 7ක් ඇතුළත මෙම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් අපහාස කිරීම, පෞද්ගලිකත්වයට අයුක්ති සහගත ලෙස ඇඟිලි ගැසීම සහ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් අපේක්ෂාවෙන් නඩු පවරන බවයි.
එමෙන්ම පොලිසිය, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව සහ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් හිටපු අමාත්යවරයා අවධාරණය කර තිබෙනවා
