මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000ත් පනී

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,235ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එමෙන්ම මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 74ක් ලෙසයි.

පළාත් වශයෙන් ගත්විට බස්නාහිර පළාත තුළින් ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව වන්නේ 51,279ක්.

එනම් එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 52.74%ක් වනවා.

එමෙන්ම දෙවනියට ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත වන්නේ දකුණු පළාතයි.

ඒ අනුව එම පළාතෙන් ඩෙංගු රෝගීන් 14,061ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 14.46%ක්.

මීට අමතරව මධ්‍යම පළාතෙන් 8,991ක්, සබරගමුව පළාතෙන් 8,011, වයඹ පළාතෙන් 4,881ක්, නැගෙනහිර පළාතෙන් 4,088ක් ඌව පළාතෙන් 2748ක්, උතුරු මැද පළාතෙන් 1755 ක් සහ උතුරු පළාතෙන් 1,421ක් වශයෙන් ඩෙංගු රෝගීන් මේ වනවිට වාර්තා තිබෙනවා.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්විට ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වන අතර එම සංඛ්‍යාව 20,671ක්.

කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන් දෙවනියට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය වන අතර රෝගීන් 19,194ක් එම දිස්ත්‍රික්කය තුළින් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළින් 7,226ක්, කළුතර දිස්ත්‍රික්කය තුළින් රෝගීන් 6,230ක්, මාතර දිස්ත්‍රික්කය තුළින් 6,192ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,305ක් වශයෙන් විවිධ දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව සඳහන්.