මීගොඩ පොඩි චව්වාගේ කුඩු විකිණූ කත STF දැලේ

මීගොඩ පොඩි චව්වාගේ මත්ද්‍රව්‍ය ජාලයමෙහෙය වූ කාන්තාවක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අතුරුගිරිය පොලිස් වසමේ රනාල, හබරකඩ ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 40ක කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1,300ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම කාන්තාව ප්‍ර‍ධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හා පොඩි තිළිණ යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලබන නුවන් වනිගසේකර නොහොත් මීගොඩ පොඩි චව්වා නැමැත්තාගේ මත්ද්‍ර‍ව්‍ය ජාලයේ සිටින කාන්තාවක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.