මිලියන 17ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (13) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රසීලයේ සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙක්.

ඔහුගේ සැකකටයුතු හැසිරීම මත සිදුකළ පරීක්ෂා කිරීම්දී සඟවාගෙන සිටි මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

සුප් පැකට් ආකාරයට අසුරා තිබිය දී මෙම කොකේන් පැකට් සොයාගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 17කට ආසන්නයි.

අත්අඩංගුවට ගැනුණු 54 හැවිරිදි සැකකරු සහ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වුණේ.