මිලියන 13ක රන් බිස්කට් කටුනායකින් අල්ලයි

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් නීති විරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන සැකකරු අද උදෑසන 05.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු ගුවන් තොටුපොළේ සියලුම පරීක්ෂණ නිමවා පිටතට යමින් සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු රැගෙන ආ ගමන් මලු තුළ තිබී මෙම ග්‍රෑම් 616ක් බරැති රන් බිස්කට් සොයා ගෙන ඇත්තේ.

පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ රන් බිස්කට් සියල්ල වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.