දොඩංගොඩ , මිනුවන්දෙනිය ප්‍රදේශයේ පදිංචි තම මිත්තණියගේ රුපියල් ලක්ෂ පහළොවක මුදලක් සොරා ගත් වයස අවුරුදු 14ක ජාත්‍යන්තර පාසලක සිසුවෙකු අද අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය පවසයි.
පසුගිය 31 වැනිදා දහවල් කාලයේ දොඩංගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය නිවසක කාන්තාවකගේ රුපියල් ලක්ෂ පහළොවක මුදලක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇති බවට දොඩංගොඩ පොලිසියට ලද ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ විය.එහිදී පොලිස් විශේෂ කාර්යාංශයේ සහ දොඩංගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා එක්ව සිදුකළ වැටලීමකදී මෙම සොරකම සිදුකළ වයස අවුරුදු 14 වියැති ජාත්‍යන්තර පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව දහවල් කාලයේ රබර් කර්මාන්තය සඳහා නිවසින් බැහැරව ගොස් සිටියදී හොර රහසේ ඉනිමගක් ආධාරයෙන් වහලින් බැස සොරකම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය විය.මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විවිධ පුද්ගලයින් සැකපිට ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දොඩංගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් මෙම බාලවයස්කාර පුද්ගලයාගේ හැසිරීම් රටාව දැඩි ලෙස නිරීක්ෂණයෙන් අනතුරුව අද දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ සුලමුල අනාවරණය විය.
සැකකාර පුත්‍රයා සාමාන්‍ය පරිදි ඔහු පාසල් යාමට පයාගල පොතුවිල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඔහුගේ පියා දිනපතාම ඇරලවා ඇත.මෙම සොරකම සිදුවන දිනයේ මෙම පුත්‍රයා පාසල් නොගොස් පයාගල පොතුවිල ප්‍රදේශයේ සිට පා ගමනින් මිනුවන්දෙණිය මෙම නිවසට පැමිණ තිබේ.මිත්තණිය නිවසේ නොමැති බව පෙනී ගිය නිසා පුත්‍රයා වහලින් බැස මිත්තණියගේ කාමරය තුළට ගොස් කාමරයේ ඇඳ මත තිබූ මෙට්ටේ යට සඟවා තිබූ රුපියල් ලක්ෂ පහළොවක මුදල සහ ඇයට අයත් ලැප්ටොප් වර්ගයේ පරිගණකයද සොරකම් කොට ඇත.
සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලිස් නිලධාරින් නොමග යැවීමට විවිධ හේතු කාරණා ඉදිරිපත් කළද අවසානයේ ඔහු මෙම සොරකම සිදුකළ බව පොලිස් නිලධාරීන්ට දන්වා තිබේ.මෙසේ සොරකම් කරන ලද රුපියල් ලක්ෂ පහළොවක මුදල පයාගල පොතුවිල ප්‍රදේශයේ ඥාතීන් නිවසේ පිටුපස කෙසෙල් පඳුරක් ආසන්නේ වලදමා තිබියදී සොයා ගත් අතර ලැප්ටොප් පරිගණකය එම නිවසේම ළිඳ තුළට දමා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මිත්තණියගේ පැමිණිල්ල අනුව රුපියල් ලක්ෂ පහළොවක මුදලක් සොරකම් කර තිබුණද එම ස්ථානයෙන් සොයා ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දාහතරක මුදලකි.ඉතිරි ලක්ෂයක පමණ මුදල වෙනත් පාර්ශවයක් සමග එක්ව වියදම් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙපමණ මුදලක් මෙම බාල වයස්කාර පුද්ගලයා සොරා ගත්තේ කුමන හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.මෙම සොරකම වෙනත් පාර්ශ්වයකගේ බලපෑම මත සිදුවූවක් ද යන්න පිළිබඳව දොඩංගොඩ පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
සැකකාර පුත්‍රයා හෙට දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
