මිග් යානා ගනුදෙනුවේ වංචා අත්හරින්න රජයේ සූදානමක් ? (වීඩියෝ)

මහත් මතභේදයකට තුඩු දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදීගත් මිග් යානා ගනුදෙනුවට අදාළව රාජ්‍යන් දෙක අතර අත්සන් තැබූනු මුල් ගිවිසුම අතුරුදන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී වසර 08ක් ගෙවී තිබියදීත්, ඒ් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අධිකරණයට මේ කරුනු දැනුම් දුන්නා.

2006 වසරේ ජුනි මාසයේ දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීම වෙනුවෙන් යුක්රේනයේ ‘යුක්රින්මෑෂ්’ ආයතනයත්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවත් අතර මේ ගිවිසුම අත්සන් තැබුනා.

කෙසේ වෙතත් ඩොලර් මිලියන 15ක වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව මගින් විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවටත්, මෙම ගනුදෙනුවේදී ගිවිසුම අත්සන් තැබූ සමාගමට වෙනුවට මුදල් ගෙවා ඇත්තේ වංචනික අතරමැදි සමාගමකට බවටත් සන්ඩේ ටයිම්ස් සහ සන්ඩේ ලීඩර් පුවත්පත් විසින් එවකට අනාවරණය කරනු ලැබුවා.

මෙම වංචනික ගනුදෙනුවට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා සෘජුව සම්බන්ධ බවට චෝදනා කළ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වන්නේද මෙම ගනුදෙනුව සම්බන්ධ වාද විවාද මධ්‍යයේයි.

මේ අතර 2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් යළි විමර්ශන ආරම්භ කළා.


ඒ් අනුව මිග් ගනුදෙනුව වෙනුවෙන් ශ්‍රී ලංකාව මුදල් ගෙවා ඇති ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගම බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඞ් නැමැති දූපත් සමූහයේ පිහිටා ඇති අක්වෙරළ සමාගමක් බවත්, ශ‍්‍රී ලංකාවේ ගුවන් හමුදාව මිග් ගනුදෙනුව සඳහා යුක්රේන ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමකට එළඹ නැති බවටත් අනාවරණය කරගනු ලැබුවා.

2007 දී ලංකාවට ගෙන එන ලද මිග් ගුවන් යානා යුක්රේන ආණ්ඩුව විසින් ‘ඞී එස් එලයන්ස්’නැමති සමාගමට විකුණා ඇත්තේ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1ටත් වඩා අඩු මිලකට බවත්, අතරමැදියන් විසින් එම ගුවන් යානාවක් ඩොලර් මිලියන 2.4 බැගින් වන මිලකට ගුවන් හමුදාවට ලබාදී ඇති බවත් එම විමර්ශනවලදී අනාවරණය වුණා.

ඒ අනුව මෙම මිග් යානා ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා මත රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇතුළු පිරිසකට චෝදනා ගොනු කෙරුණා.


සිද්ධියේ සෙසු සැකකරුවන් වශයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ඉංජිනේරු ජයනාත් කුමාරසිරි, සිංගප්පූරු ජාතිකයින් තිදෙනෙක්, සහ ඩී.එස්. එලායන්ස් සමාගම නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරට අධිකරනය මගහැර සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා අවස්ථා කිහිපයක දී ම රතු නිවේදන පවා නිකුත් කළා.

2018 පෙබරවාරි 04 වැනිදා ඩුබායි ගුවන්තොටුපොළේ දී උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලබන්නේ ඒ අනුවයි.


එහෙත් ඔහු ලංකාවට පිටුවහල් කිරීමට අදාළ ලිපිගොනු විධිමත්ව සකස් කොට එරට රජයට භාර දී නොතිබීම නිසා යළිත් ඔහු නිදහස් කෙරුණා.

ඉන්පසු යළිත් 2018 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරයක රඳවා සිට උදයංග වීරතුංග 2020 පෙබරවාරි 14 වැනිදා ලංකාවට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ ද කොවිඩ් සමයේ බන්ධනාගාර තදබදය හුවා දක්වමින් ඔහු ඇප පිට නිදහස් කිරීමට රහස් පොලීසිය අනුමැතිය පළ කළා.

එලෙස රටට දැවැන්ත මූල්‍ය වංචාවක් කළ ගනුදෙනුවක සැකකරුවන් නිදහසේ මුදා හැරෙන්නේත්, ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මිග් ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම් අතුරුදන් වෙන්නේත්, ඒ් ගිවිසුම අතුරුදන්වීම ගැන කිසිදු විමර්ශනයක් සිදු නොවන්නේත් ඒ් අතීතය අත්හරින්නට රජය ගෙන ඇති තීරණයක් නිසාද?