Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මධ්‍යම පරිසර අධිකාරියට නව පරිසර නිලධාරීන් 281ක් බඳවා ගැනේ

මධ්‍යම පරිසර අධිකාරියට නව පරිසර නිලධාරීන් 281 දෙනෙකු බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (25) සිදු කෙරුණා.

ආයතනික බඳවා ගැනීමේ පටිපාටියට අනුව කටයුතු කර සුදුසුකම් ලත් අයදුම්කරුවන් තෝරාගැනීමෙන් අනතුරුව මෙම පත්වීම් ප්‍රදානය කර තිබේ. ඒ අනුව බඳවා ගත් නිලධාරීන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල වෙත අනුයුක්ත කර තිබෙනවා.

අවසන් වරට මධ්‍යම පරිසර අධිකාරියට පරිසර නිලධාරීන් බඳවාගෙන ඇත්තේ 2017 වසරේදී වන අතර, මෙවර බඳවා ගැනීමට පෙර විශාල පිරිසක් එකවර පරිසර නිලධාරීන් ලෙස බඳවාගෙන ඇත්තේ 1997 වසරේදී බව සඳහන්.

ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය වෙනුවෙන් ස්ථාපිත ප්‍රධානතම පරිසර නියාමන ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත ශක්තිමත් කිරීම මෙම බඳවා ගැනීමේ ප්‍රධාන අරමුණයි.

ඒ හරහා ක්ෂේත්‍ර රාජකාරි තවදුරටත් විධිමත් කරමින් අධිකාරියේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම, ජාතික පාරිසරික පනතේ සංශෝධන සමඟ හඳුන්වා දී ඇති නව පරිසර නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත සපුරා ගැනීමට ද මෙම බඳවා ගැනීම ඉවහල් වනවා.

නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් අද (25) පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පද්මසිරි මූණමලේ සහ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කපිල රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.