spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිළිඳියට ජීවිතය දී මව සුන්බුන් අතර ම අවසන් සුසුම් හෙළයි

දකුණු තුර්කියේ සහ අසල්වැසි සිරියාවේ පුළුල් ප්‍රදේශයකට බලපෑම් එල්ල වූ භූ කම්නපනයෙන් මියගිය ගණන 5,100 ඉක්මවා තිබෙනවා.

මේ වන විට තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රටවල් දෙක තුල දැඩි විනාශයක් සිදු කළ භූමිකම්පා දෙකින් පළාත් 10ක් විනාශ වී තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ භූමිකම්පාවෙන් දිනකට පසුවත් කටුක තත්වයන් යටතේ වැඩ කරන ගලවාගැනීම් සේවකයන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතරින් මිනිසුන් ගැනීමට අරගලයක නිරත වෙමින් සිටින බවයි.

සඳුදා ඇති වූ ව්‍යසනකාරී භූමිකම්පාවෙන් ඉක්බිතිව ආශ්චර්යමත් දිවි ගලවාගැනීම් පිළිබඳ තොරතුරු ද අනාවරණ වෙමින් පවතිනවා.

අද උදෑසන උතුරු සිරියාවේ නිවසක සුන්බුන් අතර සිටිය දී සුන්බුන් අතරම උපත ලැබූ ළදරුවෙකු බේරා ගෙන තිබෙනවා.

ගලවාගැනීමේ කණ්ඩායම් විසින් කඩා වැටුණු නිවසින් පිටතට ගෙන යන විටත් ඇය උපත ලබා ගතවී ඇත්තේ සුළු මොහොතක්.

සහන කණ්ඩායම් විසින් බිළිඳිය අසල පිහිටි රෝහලකට ගෙන ගොස් තිබෙනවා.

ඇගේ දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් සිව්දෙනාගේ දිවි ගලවා ගැනීමට හැකිවී නැහැ.

කඩා වැටුණු ගොඩනැගිල්ල යට සිර වූ ගැබිනි මව සුන්බුන් යට තම දරුවා බිහි කළ නමුත් ගලවා ගැනීමේ සේවකයින් ඇය වෙත ළඟා වීමට පෙර මිය ගිය බවයි වාර්තා වී ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසුවේ සඳුදා ඇති වූ භූමිකම්පාවේ විනාශයට ප්‍රතිචාර දැක්වීමට තුර්කියට ශක්තිමත් හැකියාවක් ඇති නමුත් සිරියාවට එවැනි හැකියාවක් නොමැති බවයි.

ව්‍යසනයේ පරිමාණය මේ වන විට හෙළිවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරියෙක් පැවසුවේ ළමයින් දහස් ගණනක් මියයන්නට දමන්නට ඇතැයි සැක කෙරෙන බවයි.

1999 වසරෙන් පසු තුර්කියේ සිදු වූ දරුණුතම භූමිකම්පාව ලෙසට සැලකෙන රික්ටර් පරිමාණයේ 7.8ක භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී, රෝහල් සහ පාසල් විනාශ වූ අතර, දස දහස් ගනනක් තුර්කි සහ සිරියානු ජනතාවට තුවාල ලබා හෝ නිවාස අහිමි වී තිබෙනවා.

පවතින දැඩි ශීත කාලගුණය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහ ආධාර බෙදා හැරීමට බාධාවක් වූ අතර නිවාස නොමැති අයගේ දුක්ඛිත ජීවිත වඩාත් ඛේදනීය තත්වයක් බවට පත්ව තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට ඉන්ධන සහ විදුලිය ද නොමැති බවයි වාර්තා වන්නේ.

වසර 12කට ආසන්න සිවිල් යුද්ධයකින් පසු දැනටමත් මානුෂීය අර්බුදයකින් පීඩාවට පත්ව සිටින සිරියාවේ තත්ත්වය පිළිබඳව ආධාර නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

බලපෑමට ලක්වූ තුර්කියේ පළාත් 10ක් ආපදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර මාස තුනක කාලයක් සඳහා කලාපය තුළ හදිසි තත්වයක් පනවනු ලැබුවා.

තුර්කි මාධ්‍යවේදියෙක් බී.බී.සී. ආයතනයට ප්‍රකාශ කර ඇත්තේ සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන් බේරා ගන්නා ලෙසට ඉල්ලමින් තමා සහ අනෙකුත් මාධ්‍යවේදීන්ට වීඩියෝ සහ ඔවුන්ගේ සජීවී ස්ථාන එවා ඇති බවයි.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව සඳුදා අලුයම සිදුවූ අතර පසුව රික්ටර් පරිමාණ 7.5ක කම්පනයක් ද සිදු වුණා.

එය පසු කම්පනයක් නොවන බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

පළමු භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පමණක් 3,419 කට වැඩි පිරිසක් මිය ගිය අතර 15,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව එරට ආපදා ඒජන්සිය පවසනවා.

සිරියාවේ 1600කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වනවා.

මේ අතර, භූමිකම්පාවෙන් පසු ඇති වූ ගින්නකින් දකුණු තුර්කියේ ඉස්කෙන්ඩරන් වරායට දැඩි හානි සිදුවී ඇති අතර, නැවත දැනුම් දෙන තුරු එහි මෙහෙයුම් නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුර්කි බලධාරීන් පවසන පරිදි කිලෝමීටර් 300 ක් පමණ විහිදෙන ප්‍රදේශයක මිලියන 13.5 ක ජනතාවක් පීඩාවට පත්ව සිටිනවා.

කම්පනයේ සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහිදී පැවසුවේ ගලවා ගැනීමේ මෙහෙයුම් දැන් කාලයට එරෙහි තරඟයක් බවයි.

සෑම මිනිත්තුවක්ම, ගෙවී යන සෑම පැයක්ම තුලින් ජීවිත ගලවා ගත් අය සොයා ගැනීමේ අවස්ථාව අඩු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දිවි බේරා ගත් අය රාත්‍රිය පුරා සහ උදෑසන දක්වාම අනෙක් දිවි ගලවා ගත් අය සොයා යමින් සිටින්නේ, සුන්බුන් ගොඩවල් අසල මිතුරන් සහ නෑදෑයන් ජීවතුන් අතර සිටිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්.

සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි තුර්කියේ ඇන්ටාක්‍යා නගරයේ සුන්බුන් ගොඩකට යට වී උදව් ඉල්ලා හඬ නගන කාන්තාවකගේ හඬ ඇසුණු අතර රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දැක ඇත්තේ ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරක් අප්‍රාණිකව වැටී ඇති ආකාරයයි.

තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) පැවසුවේ භූමිකම්පාවෙන් ගොඩනැගිලි 5,775 ක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 20,426 ක් තුවාල ලබා ඇති බවයි.

තුර්කියේ දකුණු දිග ඉස්කෙන්ඩරුන් වරායේ අද දිනයේ ද විශාල ගින්නක් ඇවිලෙමින් තිබුණා.

ඩ්‍රෝන් දර්ශන මගින් කඩා වැටුණු මහල් නිවාස විශාල ප්‍රමාණයක් පෙන්නුම් කර ඇති අතර, සැබෑ මරණ සංඛ්‍යාව වර්තමාන සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවටයි සැක කෙරෙන්නේ.

දිවි ගලවා ගත් අය සෙවීම සඳහා එක්සත් රාජධානියේ රජය විසින් සෙවීම් සහ ගලවා ගැනීමේ විශේෂඥයින් 76 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තුර්කියට යවා තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය සංවර්ධන අමාත්‍ය ඇන්ඩෲ මිචෙල් පැවසුවේ මෙම බිහිසුණු ව්‍යසනය හමුවේ උපකාර කිරීමට බ්‍රිතාන්‍යය සැමවිටම සුදානමින් සිටින බවයි.

මේ අතර ආපදාවට පත් රටවලට යැවීම සඳහා ගලවා ගැනීමේ හෝ වෛද්‍ය කණ්ඩායම් 30කට වඩා සුදානම් කර ඇති බව යුරෝපා සංගමය පවසනවා.

සමස්තයක් වශයෙන්, ගලවා ගැනීමේ සේවකයින් 1,200 කට වැඩි පිරිසක් විපතට පත් ප්‍රදේශවලට යන අතර හඳුනාගැනීමේ සුනඛයන් 70ක් ද යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

තුර්කිය මෙන් නොව, සිරියාව යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය යටතේ උදව් ඉල්ලා නැහැ.

යුරෝපීය කොමිසමේ ප්‍රධාන ප්‍රකාශක එරික් මාමර් පැවසුවේ සහන කණ්ඩායම්වලට භූමියේ ඵලදායි ලෙස ක්‍රියා කිරීමට හැකි බව සහතික කර ගැනීම සඳහා, අවසරය පමණක් නොව බලධාරීන්ගේ සහාය තිබීම අත්‍යවශ්‍ය බවයි.

තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ ලොව පුරා රටවල් 70 කින් තම රජයට ආධාර ලබා දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?