රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ නිල ඇදුමෙන් අල්ලා ඔහුට තර්ජනය කළ බව කියන යුධ හමුදා ලුතිනන් වරයෙකුව වෙන්නප්පුව – උදාසිරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 27 වැනිදා සවස වෙන්නප්පුව – ලුණුවිල,බණ්ඩිරිප්පුව ප්රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙකැලේ යුධ හමුදා කදවුරට අනියුක්තව සේවය කරන වයස අවුරුදු 27 ක අයෙකුවය.හෙතෙම දිවුලපිටිය – අස්වැන්න වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
උදාසිරිගම පොලීසියට අනියුක්තව සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ඉකුත් 27 වැනිදා දිවා මුර රාජකාරියේ නිරත වෙමින් සිට ඇත.එම අවස්ථාවේදී ලුණුවිල – බණ්ඩිරිප්පුව ප්රදේශයේ නිවසක අධික ශබ්දයක් සහිත ශබ්ද උපකරණ භාවිතා කරමින් සාදයක් පැවැත්වෙමින් තිබී ඇත.
අසල්වාසීන්ට කරදරයක් වන ආකාරයෙන් ක්රියාත්මක කර තිබූ එම ශබ්ද උපකරණයේ හඩ අඩු කරන ලෙස පොලිස් නිලධාරීවරයා අදාල නිවැසියන්ට උපදෙස් ලබා දී ඇත.සාදයට සහභාගි වෙමින් සිටි සැකකාර යුධ හමුදා ලුතිනන් වරයා එම අවස්ථාවේදී පොලිස් නිලධාරියාගේ නිල ඇදුමින් අල්ලා ඔහුට තර්ජනය කර බැද වැදී රාජකාරියට බාධා කර ඇත.










