Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .

මහල් 04කින් යුත් මෙම නව කාර්යාල ගොඩනැගිල්ලේ, ආසන 1,000කින් සමන්විත ශ්‍රවණාගාරයක් සහ වාහන නැවැත්වීමේ අංගනයක් ඇතුළත් වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා කොටස් 03කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීමට 2013 වර්ෂයේදී යෝජනා කර තිබුණ ද, මේ වන විට එහි දකුණු පස තෙමහල් ගොඩනැගිල්ල පමණක් ඉදි කර ඇති බවයි සඳහන් වන්නේ .

එකී ගොඩනැගිල්ලේ ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කාර්යාලයේ අංශ විවිධ ස්ථානවල පවත්වාගෙන යාමට සිදුව ඇති අතර, එය පරිපාලන කටයුතු සම්බන්ධීකරණයට හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණයට බාධාවක් වී තිබෙනවා .

එබැවින්, කාර්යාලයේ අංශ විධිමත්ව ස්ථාපිත කිරීම, පරිපාලන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, මහජන සේවා පහසු කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් හා සම්මන්ත්‍රණ සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් නවීන පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙසයි හඳුනා ගෙන ඇත්තේ .

ඒ අනුව, මහල් 04කින් යුත් නව කාර්යාල ගොඩනැගිල්ලක්, ආසන 1,000කින් සමන්විත ශ්‍රවණාගාරයක් සහ වාහන නැවැත්වීමේ අංගනයක් ඇතුළත්ව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් දැනට පවතින කාර්යාලය පිහිටි භූමිය තුළම ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා .