spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දය කල් දැමීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට අවසර දෙන නොදෙන තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි

මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 27 වනදා ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි පෙත්සම සලකා බලනු ලැබුවේ.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සිය මූලික විරෝධතා මතු කරමින් සඳහන් කලේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැතිවරණ කොමිසම නම් කර නොමැති අතර එය බලවත් ඌණතාවයක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ බලය පැවරී තිබෙන්නේ මැතිවරණ කොමිසමට බවත් කොමිසමේ සාමාජිකයන් සිදු කරනු ලබන්නේ එම බලය ක්‍රියාවේ යෙදවීම පමණක් බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව මැතිවරණ කොමිසම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් නොකොට එහි සාමාජිකයන් පමණක් වගඋත්තරකරුවන් ලෙස නම් කිරීම නීතිමය අඩුපාඩුවක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කරුණු ඉදිරිපත් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ද නීතිය ඉදිරියේ පුද්ගලයින් ලෙස අර්ථකථනය කර ඇතැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නම් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව වග උත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට පෙත්සම පවත්වාගෙන යාම සඳහා අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන ලෙසයි

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තර්ක කළේ මෙම නඩුවට පාදක වන කරුණ පාර්ලිමේන්තුව හමුවේ පවතින කරුණක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවටයි.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 27 වනදා ප්‍රකාශ කරන බවත් නිවේදනය කළා.

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පැෆරල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙත්සම ඉදිරිපත් කළා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට අදාළව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

මෙම මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ඉකුත් මාර්තු මස 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව කටයුතු කර නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණය නියෝග කළ බව කියා සිටියා.

එහෙත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය රීතීන් 45(3) අනුව කටයුතු කරමින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමක් සිදු කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති නිසා මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ සාමාජික විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද විවෘත අධිකරණයේ සදහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 45(3) යටතේ මේ ආකාරයෙන් නොතීසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ ඉල්ලීම ඉවත දමමින් වගඋත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙමින් පෙත්සම් විභාගය ජුලි මස 24 වනදා සහ 26 වනදා පැවැත්වීමට දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?