spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනක් කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඇරඹේ (ඡායාරූප)

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති LEO Youth Vision 2048 සමාජය හා කොළඹ රාජකීය විද්‍යාලයීය LEO සමාජය එක්ව සංවිධානය කළ පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනට සහභාගී වෙමින්.

හෙට (24) දිනයට යෙදී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය පැළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරුණා.

LEO Youth Vision 2048 සභාපති සෙනුළ දීලන ඇතුළු LEO සාමාජිකයින් විසිනුයි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම ආර්ථික සංවර්ධනයට සහයක් වන බැවින් සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද සාගල රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා…

ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, මෙම අවස්ථාවට සහභාගී වීමට මට ආරාධනා කිරීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙනවා. මේ ශාලාවේ සහ වේදිකාවේ මට පැරණි මතක රැසක් තිබෙනවා. බොහෝ කාලයක් ගතව තිබුණත් මම මෙම වේදිකාවට පැමිණි වාර ගණන ගණන් කළ නොහැකි යැයි මම විශ්වාස කරනවා. එදා අපි ශිෂ්‍යයන් ලෙස බොහෝ දේ කළ අතර රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස, ක්‍රීඩාව ඇතුළු සියලුම විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙසත් මම බොහෝ අත්දැකීම් ලබා ගත්තා.

ඒක මට මගේ දේශපාලන කටයුතුවලදී මහත් ශක්තියක් වුණා. මම හිතන්නේ වඩා හොඳ පෞරුෂයන් ආකර්ෂණය කරගැනීමට ඒ තුළින් හැකියාවක් ලැබෙනවා කියලා. ඉතින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න කැමත්ත ප්‍රකාශ කරන තරුණ ශිෂ්‍යයන් දකින්න ලැබීම මට මහත් සතුටක් වුණා. එම සිසුන් අධ්‍යාපනයෙන් ඉදිරියට පැමිණ, අනතුරුව සමාජය තුළ උසස් මට්ටමින් කටයුතු කරමින් රටේ නායකත්වය ද ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

රාජකීයයන් ලෙස පසුගිය දින කිහිපය අපට ඉතා හොඳ දින කිහිපයක් වුණා. අපි පසුගිය සෙනසුරාදා රෝයල්-තෝමස් මැච් එක දිනුවා. ඉන්පසුව සඳුදා, ජාතියක් ලෙස අපිට වැදගත් පුවතක් අසන්නට ලැබුණා. අපි තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බවත් අපි දැන් එයින් ගොඩ එන බවටත් වූ ආරංචිය IMF මගින් අපට දැනුම් දුන්නා.

IMF විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කළා. බොහෝ අය සිතන්නේ IMF වැඩසටහන සමඟ අපට විශාල මුදලක් ලැබෙනු ඇති බවයි. අප ලබා ගැනීමට යන මුදලට වඩා, ඉතා සහනදායී මිල ගණන් යටතේ දීර්ඝ කාලයක් තුළ ආපසු ගෙවීමට සිදු වන ණයක් ආකාරයෙන් තමයි එය ලැබෙන්නේ.

නමුත් ඊට වඩා ජාත්‍යන්තර ප්‍රජාව අපට ලබා දී තිබෙන විශ්වාසයේ මුද්‍රාව අගය කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ඇතුළත් වෙනවා. නමුත් එය ඉතා දැඩි වැඩසටහනක් වන අතර බොහෝ රටවල් වසරක්, දෙකක් තිස්සේ එම සහනය ලබාගැනීමට උත්සාහ කළත්, තවමත් එය සාක්ෂාත් කර ගැනීමට නොහැකිව තිබෙනවා. කොවිඩ් සමඟ ඇති වූ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ ඇතැම් රටවල ආර්ථිකය කොවිඩ් වලින් ඔබ්බට වැරදි ලෙස කළමනාකරණය කිරීම අප වැනි බොහෝ රටවල ආර්ථිකය පහත වැටීමට හේතු වුණා. නමුත් අපි තමයි මුලින්ම එම තත්ත්වයෙන් ගොඩඑමින් සිටින්නේ. නමුත් අපිටත් තව ගොඩක් දුර යන්න තිබෙනවා.

වැදගත් වන්නේ අපි අපේ ප්‍රතිපත්ති සහ ආර්ථික රාමුව නිවැරදි කර ගැනීමයි. ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආයෝජකයන්ට පහසු විය යුතුයි. ශ්‍රී ලාංකිකයින්ට රට තුළ ආයෝජනය කිරීමට නම් විශ්වාසයක් තිබිය යුතුය. එය ඕනෑම ආයෝජකයෙකුට ලබා දෙන විනිවිදභාවයෙන් යුත් ක්ෂේත්‍රයක් බව සහ සම මට්ටමේ ක්‍රීඩා පිටියක් බවට විශ්වාසයක් ඔවුන් තුළ ඇතිවිය යුතුයි. ශ්‍රී ලංකාවට පැමිණ ගනුදෙනු කිරීමට අවශ්‍ය විශ්වාසය ඇතිකළ යුතුයි. එවැනි ආයෝජන වලින් තමයි අපේ ආර්ථිකය දියුණු කර ඔබ වැනි පරම්පරාවට හොඳ හෙට දවසක් උදා කර දෙන්න පුළුවන් වෙන්නේ.

අපි මේ සියලු කටයුතු කරන්නේ ඔබ වෙනුවෙන්. මෙම අත්තිවාරම මත අපි ගොඩනඟන දේ, ඔබ සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ප්‍රතිලාභ අත්කරගත යුතුයි. ඔබ ඒ ගැන උනන්දු වී එයට සම්බන්ධ වීම ඉතා වැදගත් ය.

රාජකීය විද්‍යාලයේ ලියෝ සාමාජිකයන් විසින් සම්බන්ධීකරණය කරන ලද, පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනට අද සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ උපන්දිනය සනිටුහන් කරමින් එය සිදු කිරීම පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත විය යුතුයි.

දේශගුණික විපර්යාස අනාගතයේදී තීරණාත්මක කාරණයක් වෙනවා. අපි ඒ ගැන අවධානය යොමු නොකරන්නේ නම් සහ එයින් ගොඩ ඒමට සවිඥානික උත්සාහයක් නොගන්නේ නම් ආර්ථික සංවර්ධනය හෝ පුනර්ජීවනය තාවකාලික එකක් වනවා. එය තිරසාර වැඩපිළිවෙලක් වන්නේ නැහැ.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම ආර්ථික සංවර්ධනයට සහයක් වනවා. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බොහෝ පිරිසක් ලෝකයේ සිටින අතර ඔවුන් දිරිමත් කිරීම මෙන්ම ඔවුන්ට මූල්‍යමය වශයෙන් සහයෝගය දක්වීම සිදු කෙරෙනවා.

මෙම මූල්‍ය අර්බුදයත් සමඟ පසුගිය මාස කිහිපය තුළ අපට අසන්නට ලැබුණු බැඳුම්කර වැනි මූල්‍ය මෙවලම් තරමටම එය දැන් මූල්‍ය මෙවලමක් බවට පත්ව තිබෙනවා. එබැවින් තරුණ පිරිස මෙහි නායකත්වය භාර ගැනීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙනවා. ඒ සඳහා කැපවී කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කාර්යබහුලත්වය සමග විවිධ විෂය භාහිර කටයුතු, පාසල් සමිති අද අපෙන් ඈත් වී තිබෙනවා. මට මතකයි එදා අපි අතර බෞද්ධ සහෝදරත්වය සහ ඉන්ටරැක්ට් සමාජ තිබුණා, නමුත් පසුව තොරතුරු තාක්‍ෂණය සමඟ අපි පරිගණක සංගමයකට එක් වුණා
දේශගුණික විපර්යාසවලට මුහුණදීම රාජකීයන් පමණක් නොව සියලුම පාසල්වල ඔබේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට එක් කරගත හැකි දෙයක්. එබැවින් මම වැඩසටහන සම්බන්ධ වූ අනෙකුත් පාසල්වල ප්‍රධානීන්ට ලියෝ සෙනුල ඇතුළු කණ්ඩායමට නැවතත් මගේ ස්තූතිය පුදකරනවා. අද මෙම අවස්ථාවට මාව සම්බන්ධකර ගැනීම පිළිබඳ මම සියලුදෙනාට නැවතත් ස්තූතිය පුද කරනවා.

ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබ පතනවා. අපි සියලුදෙනා වැඩ කරන්නේ මේ රටේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා මෙම වැඩසටහන සමග සම්බන්ධව කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?