කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වුණා.
කෙසේ වෙතත් සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදවත්ත පවසන්නේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම 31 එක් හැවිරිදි තරුණයා මියගොස් ඇත්තේ හෘද වස්තුවේ ඇතිවූ ආසාදනයක් හේතුවෙන් බවයි.
කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
පානදුර රෝහලේ ප්‍රතිකාර ලැබූ මෙම තරුණයා ඖෂධ නියාමන අධිකාරියේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන බවත් ඔහුට හෘද දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයාගැනීමට හැකි වූවානම් ඔහු මෙලෙස මිය යෑමෙන් වළක්වාගැනීමට හැකියාව තිබූ බව ලේකම්වරයා ප්‍රකාශ කරනවා.
පසුගිය 05 වනදා මෙම රෝගියා පානදුර රෝහලට ඇතුළත් කර ඇත්තේ උණ සහ නිව්මෝනියා තත්ත්වයෙන් බවත්, එය උත්සන්න වී දැඩි සත්කාරයකට ඇතුළත්කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
එහිදී ඔහුගේ හෘද වස්තුවේ ආසාදනයක් ඇති වී තිබෙන බව සොයාගෙන ඇති නමුත්, රෝහලේ වෛද්‍යවරුන් මොහුව හෘද දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කිරීමට දැඩි ලෙස උත්සාහ කර ඇතත් දැඩිසත්කාර එකකයක් සොයා ගැනීමට නොහැකි වීම මත මෙම තරුණයා මිය ගොස් ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙම මරණයට කැනියුලාව දැමීම කිසිසේත්ම හේතුවක් නොවන බවත් කැනියුලාව දමා ආසාදනය වුවත්, හෘද දැඩි සත්කාර ඒකකයක පහසුකම් පැවතියා නම් මෙම මරණය සිදුනොවන බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ වනවිට රෝහල් රැසක ඖෂධ සහ උපකරණ සහ ශල්‍යාගාර පහසුකම් නොමැතිකම දිගින් දිගටම රජයට දැනුම් දුන්නත් ඒ පිළිබඳව රජයේ අවධානය නොකරන බවයි හෙද සංගමය පවසන්නේ.
මෙවැනි ගැටළු කාරී තත්ත්වයන් තුළ තමන් ඇතුළු සමස්ත හෙද හෙදියන් සියලු දෙනාම රැකියාව කරනුයේ මහත් පරිශ්‍රමයකින් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.













