ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටියගේ අවසන් කටයුතු හෙට

ඊයේ (08) උදෑසන රෝගාතුරව සිටියදී අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු හෙට (10) දිනයේ දී සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඇයගේ දේහය මේ වනවිට කොළඹ 07 ටොරින්ටන් උද්‍යානයේ පිහිටි ඇයගේ නිවසෙහි තැන්පත් කර ඇති බවයි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය හෙට පස්වරු 03ට ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන යාමට නියමිත ව තිබෙනවා.

ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ පස්වරු 03 – 05 දක්වා අවසන් ගෞරව දැක්වීමට තැන්පත් කර තිබෙන අතර පස්වරු 5.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමටයි නියමිත ව ඇත්තේ.

වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඇය 80 හැවිරිදි වියෙහි පසුවුණා.

සුමනා නෙල්ලම්පිටිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සජ ස්වාධීන රූපවාහිනී සේවයේ ද ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකාවක් ද වනවා.