“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කෙරේ

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩමුළුවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) පස්වරුවේ පැවැත්වුණා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, සමාජය සවිබල ගැන්වීමේ බහුවිධ ප්‍රවේශයක් සහිත වැඩසටහනක් ලෙස ප්‍රජාශක්ති ජාතික වැඩසටහන මෙම ජූලි 04 සිකුරාදා දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විට මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනකුගෙන් එක් අයකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන අතර, මෙම පිරිසෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වනවා.

මෙම තත්ත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතීම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට බලපානු ඇති.

ඒ අනුව සමාජය සවිබල ගැන්වීම සහ අවදානම් සහගත කණ්ඩායම් තෝරාගෙන විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කිරීම මේ යටතේ සිදු වනවා.

විවිධ රජයන් යටතේ මෙරට අඛණ්ඩවම ක්‍රියාත්මක වූ දිළිදුකම පිටුදැකීමේ වැඩසටහන් දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් වැඩසටහන් වූ අතර, ඒ වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධතා ප්‍රවේශයක් ඔස්සේ “ප්‍රජාශක්ති” වැඩසටහන ක්‍රියාවට නැංවීම විශේෂත්වයක්.

මෙරට දිළිඳු බව පිටුදැකීමට ඉහළම දායකත්වයක් සපයා ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය, දිළිඳුබව තුරන් කිරීමේ ප්‍රවේශයක් ලෙස මේ දක්වා විධිමත්ව හඳුනාගෙන නොමැති අතර, එවැනි උපායමාර්ගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම ඒකාබද්ධ ප්‍රවේශය සකස් කිරීමට නියමිතය.

එසේම දරිද්‍රතාව කෙරෙහි බලපාන සෞඛ්‍යය, ප්‍රවාහනය, ආහාර සුරක්ෂිතතාව, අලෙවිකරණය වැනි අංශ කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙකී නව ප්‍රවේශය ඔස්සේ ප්‍රජාව සවිබල ගැන්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමට නව ව්‍යුහාත්මක වෙනස්කම් තුනක් යෝජනා කර තිබෙනවා.

ජාතික මට්ටමේ දී “ප්‍රජාශක්ති” ජාතික ප්‍රතිපත්ති සභාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර ඇති අතර, අමාත්‍යවරු 09 ‍දෙනෙකු එහි සාමාජිකත්වය දරනවා.

මෙම වැඩසටහන නව ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රතිපත්ති සභාවේ අරමුණ වන අතර එහි කැඳවුම්කරු ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා කටයුතු කරනවා.

ප්‍රතිපත්ති සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවක් ද අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ස්ථාපනය කර ඇති අතර එහි සාමාජිකයින් ලෙස අමාත්‍යාංශ ලේකම්වරු 9 දෙනෙක් හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරු කටයුතු කරනවා.

කමිටුවේ ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කටයුතු කරනු ඇති.

මෙම ජාතික වැඩසටහන, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, අමාත්‍යාංශ හා පළාත් සභා ඔස්සේ ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණය කිරීමට ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ප්‍රජා සංවර්ධන සභාවක් ස්ථාපනය කෙරෙනවා.

මෙම කමිටුවේ සභාපතිවරයා, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයා විසින් පත් කරනු ලබන අතර ලේකම්වරයා ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අනුයුක්ත කරනු ලබන නිලධාරියකු පත් කෙරෙනු ඇති.

ප්‍රජාව සවිබල ගැන්වීමේ කාර්යය සඳහා ඉවහල් වන සංවර්ධන තීරණ ගැනීමටත්, විශේෂයෙන් සමාජ සුරක්ෂිතතාව ලබා දිය යුතු පිරිස් හඳුනා ගැනීමටත් මෙම සභාව කටයුතු කිරීමට නියමිතය.

ඒ සඳහා අදාළ ප්‍රදේශයේ විද්වතුන්, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, කර්මාන්කරුවන්, රජයේ සේවකයින් ඇතුළු සෑම ජන කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි පිරිසක් පත් කර ගැනීම සිදු කෙරෙනවා.

මෙම වැඩමුළුවේදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා, වත්මන් රජය ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැංවීම සඳහා ප්‍රධාන වැඩසටහන් තුනක් යෝජනා කර තිබෙන බව පෙන්වා දුන්නා.

Digital Economy ඇතුළු ආර්ථික සංවර්ධන වැඩසටහන්වලින් කෙටි කාලීන ආර්ථික වෘද්ධියක් ඇතිකර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, එසේ අත්පත් කර ගන්නා ප්‍රතිලාභ රටේ සමස්ත ජනතාව අතර සාධාරණ ලෙස බෙදාහැරීමත්, එමඟින් ප්‍රජාව සවිබල ගැන්වීමත් ඉලක්ක කර ගනිමින් “ප්‍රජාශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවසුවා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සුවපහසු, ආරක්ෂිත, ධනවත් මෙන්ම නොසැලෙන රටක් යනු පුරවැසියා ජීවත්වන සමාජ පරිසරයට අයත් කරුණු බව පෙන්වා දුන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා එවැනි අන්දමේ රටක් නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කිරීමේ දී ඉහත වැඩසටහන් දෙක සඳහා ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන බවද ප්‍රකාශ කළා.

පොහොසත් රටක් හෙවත් ජීවත් වන පරිසරයේ වෙනසක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන අතරතුර, ලස්සන ජීවිතයක් නිර්මාණය කර ගැනීමේ වගකීම එනම්, සිය ජීවිතය සහ අවට පරිසරය සමාජයීයව, ආචාරධාර්මිකව හා පාරිසරිකව නව තලයකට ඔසවා තැබීමේ කාර්යභාරය පුරවැසියාට පැවරෙන බවත්, ඒ සඳහා රජය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා, එමගින් පරිපූර්ණ, ගෞරවනීය, නවීන හා අභිමානවත් ජීවිතයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙන බව වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක චන්දන සුරියබණ්ඩාර මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර රජය සහ පුරවැසියා අතර සමාන්තර වැඩපිළිවෙළක් ඇති කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට සිය නිර්මාණශීලීත්වය භාවිත කිරීමේ හැකියාව පෙන්වා දුන්නා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39