spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවතින ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව විශ්‍රාමික දීමනා ඉහළ නැංවීමට සූත්‍රයක් සකස් කරන්නැයි නිර්දේශ

විශ්‍රාමික දීමනා, මානුෂිකව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, මේ රැස්වීම සඳහා කැඳවා තිබුණා.

දැනට සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙහිදී අනාවරණය වූ අතර, යම් පිරිසක් පරීක්ෂණ, මියයාම් යනාදී හේතු නිසා සක්‍රීය තත්ත්වයේ නොසිටින බවත් හෙළිවී තිබෙනවා.

වසරකට විශ්‍රාමිකයන් 26000ක් පමණ (සිවිල් 19000, ත්‍රිවිධ හමුදා 7000) සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බවයි මෙහිදී අනාවරණය වූයේ.

මාසයක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 413ක් පමණ වෙන් කර ඇති අතර අවුරුදු 55 සම්පූර්ණ කර විශ්‍රාම යන අය සඳහා ඉල්ලා සිටින පරිදි විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක් පාරිතෝෂික ලෙස ගෙවන අතර, එය වසර 10ක් ඇතුළත විශ්‍රාම වැටුපෙන් අඩු කර ගන්නා බවත් වාර්තා වුණා.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන් සිදුවන කාර්යභාරය වන්නේ අවුරුදු 70ට වැඩි අඩු ආදායම් ලාභී, මාසික ආදායම රුපියල් 6000ට අඩු පුද්ගලයන් වෙත මාසිකව රුපියල් 2000 ක දීමනාවක් ලබා දීම වන අතර, ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය මත දැනට 733204 කට වැඩිහිටි දීමනාව ගෙවන බව ද මෙහිදී එම ආයතනයේ නිලධාරීන් සඳහන් කළා. වර්ෂයකට සාමාන්‍යයක් ලෙස වැඩිහිටි දීමනාව ගෙවන ලැයිස්තුවට එකතු වන පිරිස කොපමණක් ද, මියයාම නිසා ඉවත් වන පිරිස කොපමණක් ද, හා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ සංඛ්‍යාලේඛණ කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සිදු කරන ලද වැටුප් වැඩි වීම 2020.01.01 දක්වා අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ බවත්, 2020.01.01 දිනෙන් පසු විශ්‍රාම ලැබූ අයට එම වැටුප් වැඩි වීම අනුව ගලපන ලද සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබීම හේතුවෙන් 2017ට පෙර විශ්‍රාම ලැබූ අය හා 2020න් පසු විශ්‍රාම ලැබූ අය අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වී ඇති බවත් මෙහිදී සාකච්ඡා කෙරුණා. 2020.01.01 දිනට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණය ද ඊට හේතු වු අතර ඊට අමතරව ගුරු විදුහල්පතිවරුන් සඳහා 2021 දී සිදු වූ වැටුප් වැඩි වීම හේතුවෙන් 2017/01/01 ට පෙර විශ්‍රාම ලැබු පිරිසට දැඩි විශ්‍රාම වැටුප් විෂමතාවයක් උද්ගත වී ඇති බවත්, මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා. එමෙන්ම, රාජ්‍ය සේවකයන්ට 2024/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්න ද විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කර ඇත්තේ රුපියල් 2500ක් පමණක් බවත්, වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවත් එම වැඩිවීම ජීවන වියදම වැඩි වීම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විශ්‍රාමිකයන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා. විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවතින ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙසටයි සභාපතිවරයා නිර්දේශ කළේ.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවන අතර, එම දිනට පෙර විශ්‍රාම ගිය අයට ද, එම ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් රක්ෂණ ක්‍රමය පුළුල් කළ යුතු අතර, එමගින් රෝහල්ගත වීම් දීමනා, සැත්කම් දීමනා, මරණ පාරිතෝශික දීමනා යනාදිය අදාළ දිනට පෙර විශ්‍රාම ගිය අය සඳහා ද ලබාදීමේ අවශ්‍යතාව විශ්‍රාමිකයන්ගේ පාර්ශවයෙන් අවධාරණය කෙරුණා. අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ද ලබා දීමේ හැකියාව සොයා බලන ලෙසටයි කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේ.

විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයෙකු පත් කරන ලෙසත් සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් හා එම බලයලත් නිලධාරියා අතර මූලික සාකච්ඡාව දෙසැම්බර් 15 වෙනි දින උදේ 9ට පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

වැඩිහිටි දීමනාව ලබා ගන්නා අය ද, ආබාධිත පුද්ගලයන්ද සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු අයගේ ලැයිස්තුවට (Social Registry) ඇතුලත් කළ යුතු බවත්, විශ්‍රාම වැටුප් ගෙවීමට සැළකිය යුතු බලපෑමක් සිදුවන බැවින් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මරණ ඉක්මණින් යාවත්කාලීන කළ හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද, මෙහිදී අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
17
+1
5
+1
2
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?