spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කළ නොහැකියි බව ජනපති කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත් වුණා.

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද කියා සිටියා.

එමෙන්ම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කරගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයිනේ උප ජනාධිපති හුසෙයින් මොහොමඩ් ලතීෆ් අතර හමුවක් ද “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) සිදුවුණා.

ශ්‍රී ලංකා සහ මාලදිවයින අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දෙරටට එක්ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළා.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අතර හමුවක් ද අද (21) කම්පාලා නුවරදී සිදු වුණා.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී වී. මුරලීධරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වූයේ ඉන් අනතුරුවයි.

එමෙන්ම ලාඕස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆොක්සේ ඛයිඛම්පිතෝන් සහ පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් ඉවන් ජෝන් උයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?