නායක දසුන්ගේ උපන් දිනයදා බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු රට බවට පත්වී තිබෙනවා.

ඔවුන් මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය පරදවා ලකුණු 21ක ජයක් ලැබීමත් සමගයි.

මෙම වාර්තා සටහනේ ඉදිරියෙන්ම පසුවන ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වසරේදී තරග 21ක් එක දිගට ජයග්‍රහණය කරමින් එම වාර්තාවට හිමිකම් කියනවා.

අවසන් වතාවට ඇෆ්ගනිස්තානයට එරෙහිව ලැබූ ලකුණු 2ක තියුණු ජයත් සමඟ ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසුණේ එක පිට තරග 12 ක් ජයග්‍රහණය කර සිටින අවස්ථාවකයි.

ශ්‍රී ලංකාව ලබා සිටින මෙම ජයග්‍රහණය සංඛ්‍යාව පාකිස්තානය 2008 වසරේදීද දකුණු අප්‍රිකාව 2005 වසරේදීද තරග 12ක් එක පිට ජය ගනිමින් තබා ඇති වාර්තාව සමකරන්නක් ද වුණා.

නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ ඊයේ (09) දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 257ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී බංග්ලාදේශය පන්දු වාර 48.1 කදී සියලු දෙනා ලකුණු 226 කට දැවී ගියා.

ශ්‍රී ලංකාව මෙලෙස පිට පිටම වාර්තා කරන ලද්දේ 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණයයි. එය ලෝක එක්දින පිටියේ ඔස්ට්‍රේලියාවට පමණක් දෙවැනි වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ආසියානු රට බවටද පත්ව සිටිනවා.

මේ විශිෂ්ට එක්දින තරග ගමන් මාවත නායක දසුන් ශානකගේ උපන් දිනය දා එය ශ්‍රී ලංකාව සතු වීම ද දෛවෝපගත සිදුවීමක් ලෙසින් හැඳින් විය හැකියි.

මේ අතර සධීර සමරවික්‍රම එක්දින ජාත්‍යාන්තර තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු ගණන මෙම තරගයේදී වාර්තා කරමින් තවත් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණා.

සධීර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසැවීමට සමත්වීමෙන් බංග්ලාදේශයට ප්‍රේමදාස පිටියේ තණතිල්ල තුල අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. සධීර පන්දු 72කදී දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 93ක් රැස්කර ඉනිමේ අවසන් පන්දුවේදී ටස්කින් අහමඩ්ගේ පන්දුවකට අෆීෆ් හොසේන් වෙත උඩ පන්දුවක් දී දැවී ගියා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් යහපත් අඩිතාලමක් දැමීමට සමත්වීම වාසි සහගත වූ අතර, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 60කදී හතරේ පහර 5ක් සමග ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුණා. දිමුත් කරුණාරත්න පන්දු 17කදී හතරේ 3ක් සමග ලකුණු 18කට දැවී ගියද, අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් තම 24 වැනි එක්දින අර්ධ ශතකය ද ලබා ගැනීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ඉනිමේ හොඳම සම්බන්ධතාව දෙවැනි කඩුල්ලට වාර්තා කරමින් පන්දු 107කදී ලකුණු 74ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 73කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් තම ලකුණු 50ට එක් කරගෙන තිබුණා.

සධීර සහ දසුන් ශානක 6 වැනි කඩුල්ලට පන්දු 57කදී වේගවත් ලකුණු 60ක් එක් කිරීම හමුවේ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ ගිය අතර, දසුන් ශානක පන්දු 32කදී හතරේ පහරක් සමග ලකුණු 24ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළා.

බංග්ලාදේශ ඉනිම ක්‍රමානුකූලව ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් ඉතා උපායශීලීව පහරදෙමින් සිටියදී නායක දසුන් ශානක මෙහෙදි හසන් මිරාස්ගේ කඩුල්ල බිඳ දැමීම ශ්‍රී ලංකා පිලේ පළමු ජයග්‍රහණය වුණා. මෙම තරගාවලියේ මෙහෙදි හසන් ලකුණු අතර සිටි පිතිකරුවෙකු බැවින් ලකුණු 21ක් ලබා සිටියදී දවා ගැනීම ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට හේතුවක්.

නයීම් හා මෙහෙදි හසන් ලකුණු 55ක් පළමු කඩුල්ලට එක් කළ අතර, තවත් ලකුණු 10ක් එක්වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම්ගේ කඩුල්ල ද දසුන් ශානකගේ ගොදුරක් බවට පත් වුණා. එවිට නයීම් පන්දු 46කදී හතරේ පහර 2ක් සමග ලකුණු 21ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ ලකුණු 70 සටහන් වෙද්දී මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 147ක වේගයෙන් එල්ල කළ පන්දුවකට නායක ෂකීබ් අල් හසන් වම් ඉන්න පසුකරමින් යන පන්දුවට පහරක් එල්ල කළ අතර, එය යාන්තම් පිත්තේ වැදී කුසල් මෙන්ඩිස් අතට ගියා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල ඉල්ලීමක් කළ ද විනිසුරු නිහඬව සිටියා. එසැනින්ම ඒ විනිසුරු නිහඬතාව බිඳ රූපවාහිනී පුනරූපන පරීක්ෂා කරන ලෙස ඉල්ලීම් කළ හෙයින් රූපවාහිනී විනිසුරු එය දැවී යෑමක් බවටයි තීරණය කළේ.

ලිටන් දාස් වෙත වෙල්ලාලගේ එල්ල කළ පන්දුවට කඩුලු රකින මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලැබුණු අතර, අත් ආවරණවලට හසු නෙවී දණහිසෙන් ඉවතට පැන යන පන්දුව යළිත් මෙන්ඩිස් අල්ලා ගැනීමට සමත් වීමෙන් සිවුවැනි කඩුල්ල දැවී යා. ලිටන් එවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15ක්.

මුෂ්ෆිකර් රහීම් සහ හිරිඩෝයි එක්ව එක දිගට පන්දු 112කදී කඩුල්ලක් ලබා නොදී පස්වැනි කඩුල්ලට ලකුණු 72ක් රැස්කර ගැනීමෙන් තරමක් වෙහෙසකර තත්ත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උදා වී තිබුණා. යළි පන්දුව අතට ගත් දසුන් ශානක, මුෂ්ෆිකර් රහීම් ක්‍රීඩාගාරයට යැවීම තරගයේ හැරවුම් ලක්ෂයක් වුණා. ‘මිඩ් ඕෆ්‘ හී සිට දවසේ අලංකාර උඩ පන්දුව රැකගත් කසුන් රාජිතගේ සම්මාදමෙන් මුෂ්ෆිකර් ලකුණු 29කට දවා ගැනීමට දසුන් ශානකට හැකියාව ලැබුණා.

එතැන් සිට බංග්ලාදේශ ඉනිම ශ්‍රී ලංකා ආක්‍රමණය හමුවේ ක්‍රමයෙන් ගරා වැටුණු අතර, 6 වැනි කඩුල්ලට ෂමීම් හොසේන් ලකුණු 5ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර, තීක්ෂණගේ ඊළඟ ඕවරයේදී හිසරදයක්ව පැවැති ටව්හිඩ් හිරිඩෝයි ලකුණු 82ක් ලබා සිටියදී හා ටස්කින් අහමඩ් ලකුණු 1කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තා. මතීෂ පතිරණගේ යෝකර් පන්දුවකට නසියුම් අහමඩ් ලකුණු 15කට දැවී යෑමෙන් සියල්ල නිමාවට පත් වුණා.

තරගයේ වීරයා සම්මානය සධීර සමරවික්‍රමට හිමි වුණා.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළග තරගය ලබන සඳුදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32