පවුල් ආරවුලක් මත ඇති වූ ගැටලුවක් දුරදිගයාමේ ප්‍රතිපලයක් ලෙස තම දරුවා පාසලෙන් ඉවත්කර ගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා දුරකථන සංඥා කුළුණකට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයෙක් තිරප්පනේ පොලිසිය මඟින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේම පදිංචි එක්දරු පියෙක්.
මීට සති දෙකකට පමණ ඉහත දී තමන් හා තම හත්හැවිරිදි දරුවා ද තනිකොට සිය බිරිඳ නිවසින් පිටව ගොස් ඇති බවයි අදාළ පුද්ගලයා සඳහන් කළේ.
ඒ, හේතුවෙන් කුඩා දරුවා නිවසේ තනිව දමා රැකියාවකටවත් යෑමට නොහැකිව තමන් අන්ත අසරණ වී ඇති බවයි ඔහු පවසන්නේ.
මේ හේතුවෙන් දරුවා දැනට ඉගෙනුම ලබන පාසලෙන් ඉවත්කරගෙන තම උපන් ගම් ප්‍රදේශයවන විලච්චිය ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පවසන මෙම පුද්ගලයා, ඒ සඳහා දරුවාගේ පාසල් අස්වීම ලබාගැනීමට මැදිහත් වන ලෙස වගකිවයුතු අංශවලින් ඉල්ලමින් මෙම විරෝධතාවයේ නිරතව ඇති බවයි වාර්තා වුණේ.
දුරකථන සංඥා කුළුණකට නැඟ විරෝධතාවයේ නිරතව සිටි මෙම පුද්ගලයා ඉන් බිමට බස්සවා ගැනීමට පොලිසියට පැය හතරක පමණ උත්සාහයක් දැරීමට සිදුව තිබෙනවා.
දුරකථන සංඥා කුළුණින් බිමට බැස්සවා ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.





















