spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිළිණි ප්‍රියමාලි, හොර රහසේ තබාගත් දුරකථනයෙන් ඇප ලබාගන්න ලක්ෂ 300 ක් ඉල්ලූ හැටි හෙළි වෙයි

තමාට ඇප ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමින් අනවසරයෙන් ළඟ තබාගත් දුරකථනයක් හරහා පුද්ගලයෙකු අමතා තිලිණි ප්‍රියමාලි යන අය ඉල්ලා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරිය වන ශිලනි පෙරේරා මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයට එරෙහිව ඇති නඩු කටයුතු කැදවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

තිළිණි ප්‍රියමාලී සහ ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු 3 කට අදාළව සහ කොටුව පොලීසිය විසින් පැවරූ නඩුවකට අදාළව සැකකාරිය සහ සැකකරු තව දුරටත් ලබන නොවැම්බර් 02 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද 19 නියෝග කළාය.

තිළිණි ප්‍රියමාලිට අදාළව නඩු තුනක් සහ ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයට එරෙහිව නඩු දෙකක් විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.

ව්‍යාපාරයන්ගෙන් කිසිදු ආදායමක් නොලබා ඇයගේ ගිණුමට රුපියල් මිලියන 3000ක මුදලක් පසුගිය ජූලි මස තෙක් ලැබි ඇති බව තිළිණි ප්‍රියමාලී ට එරෙහිව ඇති ප්‍රධාන නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර කාන්තාවට එරෙහිව රුපියල් ලක්ෂ 8730 කට අදාළව නව පැමිණිලි තුනක් සහ රුපියල් ලක්ෂ අටක් වටිනා රන් මාලයක් , රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් කිලෝවක්, රුපියල් මිලියන 226 කට අදාළව පැමිණිලි ලැබී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයගේ ගිණුමේ මේ වනවිට රුපියල් ලක්ෂ 100 කට වඩා වැඩි මුදලක් ඇති බවත් රන් කිලෝ එක සම්බන්ධයෙන් රහස් විමර්ශනයක් සිදු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.වංචා කළ රන් කිලෝ එකට අදාල රන් භාණ්ඩ රන් භාණ්ඩ වෙළෙඳ මධ්‍යස්ථානයකට ලබා දී ඇති බවට විමර්ශන අනාවරණය කර ගෙන ඇතැයි කියා සිටී රහස් පොලිසිය ඊට අදාළව රහස් විමර්ශනයක් සිදු කරන බවද කීවේය.

එමෙන්ම බන්ධනාගාරය තුළ සිටියදී අවස්ථා දෙකකදී ජංගම දුරකථන තුනක් ඇය සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගත් බවත් එම ජංගම දුරකථන වලින් ලබා ගත් සහ ලැබුණු ඇමතුම් 11 ක් අතරින් පුද්ගලයන් හතරකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කියා සිටී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පැමිණිලි අතරින් එක් පුද්ගලයෙක් ගෙන් ඇයට ඇප ලබා ගැනීම සඳහා යැයි පවසමින් රුපියල් ලක්ෂ 300ක මුදලක් ඉල්ලා ඇති බවත් කියා සිටියේය.

සැකකාරිය ඇයගේ කාර්යාලයේ සේවකයෙකු ට කතා කොට විවිධ පුද්ගලයන් ගේ දුරකථන අංක විමසා ඇති බවට ඔහුගේ ප්‍රකාශ අනාවරණය කර තිබෙන බව කී රහස් පොලිසිය බුද්ධි අංශ නිලධාරීන් පවා සිටින බන්ධනාගාරය තුළ ඇය ජංගම දුරකථන භාවිතා කරමින් කටයුතු කිරීම විමර්ශනයට බාධාවක් බවද කීවේය.

සැකකාරිය අධිකරණ නියෝග ප්‍රකාරව තිකෝ සමුහ ව්‍යාපාරය, ක්‍රිෂ් ආයතනයට, වත්තල ,කිරුළපන පිහිටි ඇයගේ නිවාස දෙකකට ස්ථානීය පරීක්ෂාව සදහා සෝදිසි වරෙන්තුවක් මත රැගෙන ගිය බවත් එහිදී ඇයගේ කාර්යාලයේ තිබූ පරිඝණක පහක දෘඩ තැටි පහක් අස්ථාන ගතවී තිබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම කිසිදු ආදායමක් නොලබා වංචා කළ මුදල් වලින් රුපියල් ලක්ෂ 350ක් මායා ජාලය චිත්‍රපට මුහුරත් උළෙල සදහාත් ප්‍රසංග, ප්‍රවර්ධන කටයුතු සදහා තවත් ලක්ෂ 55 කට අධික මුදලක් වැය කර තිබෙන බවත් කිසිදු ආදායමක් නොලබා සැකකාරිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයට වැටුප් සදහා මසකට රුපියල් ලක්ෂ 41ක මුදලක් වැය කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

සැකකාරිය විවෘත අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරිය ශිලනි පෙරේරා මහත්මිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකාරිය නිරීක්ෂණය කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කරුණු දක්වමින් සැකකාරිය විමර්ශන වලට බලපෑම් කර ඇති බව කියමින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙය සංකීර්ණ විමර්ශනයක්. ඇයට එරෙහිව නඩු හතක් මේ වනවිටත් පවරා තිබෙනවා . තවත් පැමිණිලි ලැබෙමින් පවතිනවා යැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ වංචා සදහා පෙම්වතා ආධාර අනුබල දී ඇති බවත් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ තිළිණි ප්‍රියමාලී සිදු කළ වංචා වලට ආධාර අනුබල දී ඇති ජානකී සිරිවර්ධන යන අය සැකකරුවෙක් ලෙස නම් කළ යුතු බවය. මොවුන් දෙදෙනා ශෘංගාර රාජිනියන් දෙදෙනෙකු බවත් මිනිසුන් රවටා මුදල් වංචා කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තම සේවාදායකයා ට රුපියල් මිලියන 50 ගෙවන බවට සැකකාරිය පොරොන්දු වූ බව කියා සිටී ජනාධිපති නීතිඥවරයා එම මුදල සම්බන්ධයෙන් විමසා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල ඇප ඉල්ලා සිටි අතර සංකීර්ණ විමර්ශනයක් සිදු කරන බැවින් ඇප ලබා දිය නොහැකි බවත් සැකකරුවන් සම්බන්ධ ගිණුම් පරීක්ෂා කිරීමටත්, සැකකාරියගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම් සදහා මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

සැකකාරියට එරෙහිව මධුක නෙරංජන් යන අය හරහා ලබා දුන් රුපියල් මිලියන 43ට අදාළව රහස් පොලිසිය විසින් නව පැමිණිල්ලක් ද කොටුව පොලීසිය විසින් රුපියල් ලක්ෂ අටක් වටිනා රන් මාලයකට අදාළව පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර එම නඩු වලට අදාළව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?