තම බිරිඳ ගේ දරු ප්‍රසූතිය සිදු කළ ඔස්ට්‍රේලියාවේ ආදරය දිනූ ශ්‍රී ලාංකික පියෙක්

මෝටර් රථයක ඉදිරිපස අසුනේ සිටි තම බිරිඳට බිළිඳෙකු ප්‍රසූත කිරීම සඳහා වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍රී ලාංකික පියෙකු ඔස්ට්‍රේලියානු ජනතාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ.

මාධවී ලෙව්කේ සහ ශ්‍යාම් කෝට්ටෙගොඩ ඔවුන්ගේ බිළිඳු පුතණුවන් මෙලොව එළිය දකින තුරු සිටියේ නොඉවසිල්ලෙනි.

එසේ වුව ද කිසි විටක ත් ඔහුගේ උපත ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර රෝහල් රථ ගාලක, මෝටර් රථයක් තුළ සිදුවෙතැයි ඔවුහු කිසි විටකත් බලාපොරොත්තු වී නොසිටියහ.

දරු ප්‍රසූතිය සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (ජන. 20) උදෑසන කඩිනමින් රෝහල වෙත තම බිරිඳ ගෙන යාමට ශ්‍යාම් කටයුතු කළ ද ඊට පෙර ඔහුට ඔවුන්ගේ දියණිය වන බුවී, දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සිදුව තිබිණි.

ඉන් අනතුරුව රෝහලට ළඟා වූ ශ්‍යාම්ට සිය බිරිඳගෙන් ලැබුණේ අනපේක්ෂිත පිළිතුරකි.

“මම රෝහලට ඇතුළු වෙන්න ගියේ. හැබැයි ඒ වෙලාවේ ම මගේ බිරිඳ කිව්වා, “එයා එනවා” කියලා.”

ඒ වන විට ත් බ්‍රිස්බේන් නුවර, මාටර් මාතෘ රෝහලේ හදිසි සේවා ප්‍රදේශයට පැමිණීමට ශ්‍යාම්ට හැකි වී තිබිණි.

“මගේ බිරිඳ මට කිව්වා එයාට ඇවිදින්න අමාරුයි කියලා. ඒ නිසා මම රෝද පුටුවක් අරගෙන එන්න ගියේ. හැබැයි මම ඒ වෙලාවේ වාහනේ දොර විවෘත කළා ම දැක්කේ, බබාගෙන් භාගයක් එළියට එනවා.

මම ඊට පසේ මගේ අත් දෙකෙන් බබාව අල්ලා ගෙන, උදව් ඉල්ලලා කෑ ගැහුවා.”

තම බිරිඳට වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍යාම් තම අත්දැකීම විස්තර කළේ එලෙසිනි.

දරු ප්‍රසූතිය ගැන අදහස් දක්වමින් මාධවී ප්‍රකාශ කළේ, තමන් මහත් සතුටට පත් වුණු බව ය.

“ඒ හැමදේ ම හරි ම ඉක්මනට සිද්ධ වුණා. මම ඒක දැනගන්න කලින් මගේ ස්වාමි පුරුෂයා ඉස්සරහ අසුනේ හිටපු බබාව අල්ලා ගත්තා.

බබා අඬන්න ගත්තට පස්සේ මට දැනුනේ ලොකු සතුටක්. මොකද එතකොට මම දැනගත්තා බබා හොඳින් කියලා.”

එම අවස්ථාව වන විට රෝහල් වෛද්‍ය කණ්ඩායම මාධවී සහ ශ්‍යාම් සිටි ස්ථානය ළඟා වී තිබිණි.

ශ්‍යාම් ප්‍රකාශ කළේ, ඔවුන් දැකීම තමන්ට සහනයක් ගෙන දුන් බව ය.

“වෛද්‍යවරු කණ්ඩායම ආවට පස්සේ, ඔවුන් කරපු දේවල් මම පසු පසට වෙලා බලාගෙන හිටියා. මගේ බිරිඳ ත් දරුවා ත් හොඳින් කියලා දැනගත්තාට පස්සේ මගේ ඇස්වලට කඳුළු ආවා.”

මාධවී සහ ශ්‍යාම් අලුත උපන් සිය බිළිඳාට තවම ත් නම් තබා නොමැත.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මාධ්‍ය ද වාර්තා කර ඇති අතර ශ්‍යාම්ගේ ක්‍රියාව මහත් සේ එරට ජනතාවගේ ප්‍රසාදයට පත්වී තිබේ.