ජනවාරි පළමු වනදා සිට අලුත් ආර්ථික වැඩපිළිවෙලක්

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද (06) පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමින්.

බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කර සිටියා.

රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සේවක ප්‍රජාව සිදුකළ මෙහෙය අගය කළ ජනාධිපතිවරයා දැනට රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වය මනාව කළමනාකරණය නොකර ඉදිරියට ගියහොත් ඉදිරි දශකයේදී නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වන බවද පෙන්වා දුන්නා.

එම නිසා දැනට ස්ථාවරව ඇති ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් දක්වා ගෙන යාමට නව සැලසුම් අනුව කටයුතු කළ යුතු බවත්, එහිදී නවීන ආර්ථික ක්‍රමවේ ද භාවිත කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ සේවක පිරිසකට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ අතර, සියවස් සැමරුම වෙනුවෙන් රුපියල් 25ක සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදු කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පෘතුගීසි සමය දක්වා ඈතට දිවයනවා. බ්‍රිතාන්‍ය යුගයේ දී මිනින්දෝරු සහ තක්සේරු ක්‍රියාවලිය ඉදිරියට ගෙනාවා. 1923 දී තක්සේරුකරු තනතුර ඇති කළා. 1972 හඳුන්වාදුන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වුණා. ඒ අනුව මේ වන විට තක්සේරු දෙපාර්තමෙන්තුව නව යුගයකට පත්ව තිබෙනවා. එහිදී ඩිජිටල්කරණය ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයේ දී තක්සේරුව වෙනුවෙන් පිරිස් බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තක්සේරු කරුවන් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම වැඩි කළ යුතුයි.
ඒ, වගේම ඉදිරියේ දී වසර පහෙන් පහට දේපළ තක්සේරු කිරීම ද සිදු කළ යුතුයි. බදු එකතු කිරීමේ ක්‍රමවේදය සඳහා ද තක්සේරු කරණයේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. එම නිසා තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල් කිරීම මෙම වසරේ සිට ආරම්භ කිරීම මම ඉතා අගය කරනවා. පසුගිය වසරේ දී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එම අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූති කළ යුතුයි.
මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි. මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් නවතා දමා තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීම නවතා තිබෙනවා. මෙම කොන්දේසි නොමැතිව ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැහැ. රටට මූල්‍ය විනයක් අවශ්‍යයි. මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කළහොත් ඉදිරියේදී ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකියි. ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙනවා. එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් අප නව සැලසුම් සම්පාදනය කර තිබෙනවා.
සංචාරක කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. ලබන වසරේදී වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. එම සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50 දක්වා වැඩි කර ගතහොත් මෙරට ආර්ථික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. ඉඩම් අක්කර ලක්ෂ 03ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ජනතාවට ලබා දෙන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම අරමුණ ඉටුකර ගැනීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම නිසා එම කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කර ගත හැකි වනු ඇතියි.
බලශක්ති ක්ෂේත්‍රය තුළ ද නව ප්‍රවේශයක් අවශ්‍යයි. එහිදී අප පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුළං බලයෙන් ගිගාවොට් 35ක්ද, සූර්ය බලයෙන් ගිගාවොට් 200 ක් ද නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මෙරට පාරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 50කට අඩු ප්‍රමාණයක්. එම නිසා එම බලශක්ති ක්ෂේත්‍රය මඟින්ද විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. කෘතිම බුද්ධිය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් ආර්ථිකයට එය යොදා ගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. එමඟින් රට තුළ ඉතා කෙටිකාලයකදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06