ජනපති සහ IMF නියෝජිතයින් අතර විශේෂ හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත් වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේම අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර්, ඊවාන් පපාජියෝරිජියෝ යන නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන අය එක්ව සිටියා.