ජනතාව පත්ව ඇති අසීරුතාව අමතක කර නැහැ, ලබන වසරේ සිට සහන – ජනපති කියයි

වගකීම් සියල්ල ආණ්ඩුව පිට පවරා ඊළග මැතිවරණයෙන් බලය ලබා ගැනීමට උත්සාහ දරන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් බැහැරව රට වෙනුවෙන් වූ සදාචාරාත්මක වගකීම ඉටු කිරීමට සියලු දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරින් පියවර රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමින් ලබන වසරේ සිට ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති ආහාර සුරක්ෂිතතා දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

ආර්ථිකය යළි ගොඩනැංවීමට මෙන්ම ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කර ගැනීමට දේශපාලනයෙන් තොරව එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළා.

තමා ජනාධිපති ධූරයට පත්වූ දා සිට දේශපාලනයේ නිරත නොවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා කියාසිටියේ තමා කැප වුයේ ජීවන බරින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබාදෙමින් රටේ වැටුණ ආර්ථිකය යළි නඟා සිටුවීමට බවයි.

අද ජනතාව ප්‍රතික්ෂේප කර ඇත්තේ එක් පිරිසක් නොව සමස්ත දේශපාලන ක්‍රමයම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතා විශ්වාසය ගොඩනඟා ගත හැක්කේ එක්ව වැඩ කර රට යළි නඟා සිටුවීමෙන් පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…..

අද මම මේ නුවරඑළිය දිස්ත්‍රික්කට පැමිණියේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ වැඩසට‍හනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහායි. මේ නුවරඑළිය ඉතා වැදගත් දිස්ත්‍රිකකයක්. නුවරඑළිය කියන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන එන දිස්ත්‍රික්කයක්. ඒ වගේම නුවරඑළිය කෘෂිකර්මාන්තය මගින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන දිස්ත්‍රික්කයක්.

පොහොර ගැන කතා කරනවා නම් ඔබ පසුගිය මැයි මාසයේ පොහොර හිඟයකට මුහුණ දුන්නා. අපි දැන් ඒ තත්ත්වය මඟහරවාගෙන තිබෙනවා. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබාදෙන ගමන් අපි ලබන වසර පිළිබඳවත් සිතිය යුතුයි.
මොකද මේ වසරේ අ‍පි මුහුණ දී සිටින්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් ඇති වූ ආහාර හිඟයටයි. එහෙත් යුක්‍රේන යුද්ධය නිසා ලබන වසරේදී මුළු ලෝකයේම ආහාර හිඟයක් ඇති විය හැකියි. අපි එම අභියෝගය ජය ගත යුතුව තිබෙනවා.

අපි ආරම්භ කළ මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන 2023 වර්ෂය පුරාම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මෙම ගෝලීය තත්ත්වය සමඟ ආහාර මිල ඉහළ යනවා. එවිට ඒවා මිලදී ගත හැක්කේ දියුණු රටවල්වලට පමණයි. ඒ පසුබිම යටතේ අපි මේ කටයුතු සාර්ථක කරගත යුතුයි.

අද මෙම ව්‍යාපෘතිය ගම් මට්ටම දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. මෙම වැඩසටහන ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මම ඔබ සියලුදෙනාට ස්තූති කළ යුතුයි. අපි සියලුදෙනාම එකතුවෙලා මේ වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි. මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අඩු පාඩු තිබෙනවා නම් අපිට වාර්තා කරන්න කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා අපි සියලු පහසුකම් සපයනවා.

ලෝක ආහාර වැඩසටහනින් අපට ඉදිරියේදී ලැ‍බීමට නියමිත සහන පිළිබඳ වාර්තාවක් මට පසුගියදා ලැබුණා. තවත් රටවලින් අපට ආධාර ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටන පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පුද්ගලික ණයකරුවන් සමග පැවති සාකච්ඡා බොහෝ දුරට අවසන් වී තිබෙනවා. මේ සමඟ අපේ ප්‍රශ්න විසඳාගත හැකියි. එසේ වූවා කියා මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන නතර කරන්න බැහැ. සියලුදෙනා එක්කර ගනිමින් අපි ඉදිරියට යා යුතුයි.

මෙහි සිටින ග්‍රාම නිලධාරීන්ට වගේම, ක්ෂේත්‍ර නිලධාරින්ට මම සඳහන් කළ යුතුයි ඔබේ සාර්ථකත්වය මත තමයි මෙම වැඩසටහනේ ඉදිරි කටයුතු තීරණය කෙරෙන්නේ. ඔබ සාර්ථක වුව හොත් රට සාර්ථක ‍වෙනවා.

මේ වතුකරයේ ඇතැම් ප්‍රදේශවල තිබෙන මන්දපෝෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට අපි ලබන වසරේ මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු කටයුතු සඳහා අපි ප්‍රාදේශීය මට්ටමෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇතිකර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය නොවන අංශ සම්බන්ධ කර ගන්න කටයුතු කරනවා. මේ සියලුදෙනාම දේශපාලනයෙන් තොරව කටයුතු කළ යුතුයි.

ඉතිහාසයේ කිසිදා නොවූ අභියෝගයකටයි අපි අද මුහුණ දී සිටින්නේ. මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අද ඉතා අසිරුවෙන් ජීවත් වෙන්නේ. උද්ධමනය වැඩිවීම සමග ඇති වූ භාණ්ඩ මිල ඉහළයාම නිසා අද සියලුදෙනාට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ජනතාව මුහුණදී සිටින මෙම දුෂ්කරතා අපිට අමතක වී නැහැ. මේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමත් සමග 2023 වසරේ සිට ජනතාවට මීට වඩා සහන ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියට යාමට නම් අපි මෙම අසීරු කාලසීමාව පසු කළ යුතුයි.

මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන අපි දේශපාලනයෙන් තොරව ඉදිරියට ක්‍රියාත්මක කළයුතුයි. මේ ආර්ථික කඩා වැටීම මීට පෙර සිදු නොවූ දෙයක්. ඒ නිසා ආර්ථිකය නැවත ගොඩනැංවීමේ වැඩපිළිවෙළ සඳහා අපි දේශපාලනයෙන් තොරව එක්විය යුතුයි. අපිට විවිධ අදහස් හා මත තිබුණත් මෙහිදී අපි සියලුදෙනා එකඟත්වයෙන් කටයුතු කළයුතුයි. ඒ පිළිබඳව අපි සදාචාරාත්මකව සිතිය යුතුයි. අපට වෙනත් විකල්ප නැහැ.

මම ජනාධිපති ධූරයට පත්විමෙන් පසු කිසිදිනක දේශපාලනය කළේ නැහැ. සියලුදෙනා සමග කතා කරමින්, සියලුදෙනා නියෝජනය කරමින් මම උත්සාහ කරන්නේ දුක් විඳින රටේ ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමටයි.

වතුකරයේ, ගමේ, නගරයේ මේ සියලු ජනතාවට අපි සහන ලබාදිය යුතුයි. දේශපාලන වශයෙන් කුමන වෙනස්කම් තිබුණත් මෙහිදී අපි එක්ව වැඩ කරමු.

ඒත් ඇතැම් අය තවමත් සිතන්නේ සාම්ප්‍රදායික ආකාරයටයි. වගකීම් සියල්ල ආණ්ඩුව පිට පැවරුවහොත් ඊළග මැතිවරණයේ දී බලය ගැනීමට හැකි වෙයි කියා ඔවුන් සිතනවා. එය සාර්ථක වන්නේ නැහැ. අද ජනතාව දොස් නගන්නේ ආණ්ඩුවට පමණක් නොවෙයි.

ජනතාව සමස්ත පාර්ලිමේන්තුවටම චෝදනා කරනවා. අද ජනතාවට දේශපාලන ක්‍රමයම එපා වෙලා තිබෙන්නේ. වසර 75කින් පසු ඇති වු මෙම තත්වයට අපි සියලුදෙනා වගකිව යුතුයි.

තරුණයින් අද දේශපාලනයෙන් ඈත් වෙලා. ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නම් අපි සියලුදෙනා එක්ව වැඩකළයුතුයි. අපි මේ සමස්ත දේශපාලන ක්‍රමයම වෙනස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඊට පෙර අපි ජනතාවගේ කුසගින්න නිවිය යුතුයි. අද ජනතාව විශාල ජීවන බරකින් පීඩා විදිනවා. මේ තත්වය නැති කරන්න නම් අපි කළ වැරදි නිවැරදි කරගෙන සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු.

මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා….

මේ වසර මුලදි ගොවීන් පොහොර මිලදී ගත්තේ රුපියල් 40,000ට. රජය මැදිහත් වීමෙන් මේ වන විට පොහොර සහන මිලට ලබා දෙනවා. මෙලෙස පොහොර සහන මිලට ලබාදීමට හැකි වී තිබෙන්නේ ලෝක වෙළෙඳ පොළේ පොහොර මිල පහත වැටීම නිසා නොවෙයි . මේ සියලු කටයුතු කිරීමට අපිට හැකි වුණේ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජයේ මැදිහත්වීම නිසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56