ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළ යෝජනා ඉදිරිපත්කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව මෙතෙක් තමන්ට සාකච්ඡාවක් ලබාදී නොමැති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසයි.
වැටුප් විෂමතාවයට එරෙහිව ගුරුවරු සහ විදුහල්පතිවරු දිවයින පුරා සංවිධානය කළ උද්ඝෝෂණ හා පෙළපාලි මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතාදමා තිබේ.
කෙසේවෙතත් ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් වර්ජනය අරඹා අද වනවිට දින 30ක් ගතවී තිබේ.
මෙවන් පසුබිමක් තුළ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයකර එම ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත්කිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කෙරුණි.
නමුත්, වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම අනුකමිටුව මෙතෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බව ගුරු-විදුහල්පති වෘත්තිය සමිති චෝදනා කරයි.
මේ අතර, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරිමට නොහැකිවනු ඇති බව එම කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අදාළ ඉල්ලීම් පිළිබද සාකච්ඡාකිරිම සඳහා එම අමාත්‍ය කමිටුව පළමුවරට අද දිනයේ රැස්වීමට නියමිත බව පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා පැවසීය.