ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම සුළි කුණාටුව ‘අක්වාන්’ ලෙස නම්කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම පද්ධතිය ඊයේ (16) රාත්‍රී 11.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.2° සහ නැගෙනහිර දේශාංශ 85.7° ආසන්නයේ, ත්‍රිකුණාමලය සිට කි.මී. 640 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුණා.
මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (17) දින ප.ව. 05.30 පමණ වන විට බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී ප්‍රභල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බවයි දැනුම් දෙන්නේ.
ඉන් අනතුරුව, මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 19 වන දින පෙ.ව. 05.30 පමණ වන විට ඉතා ප්‍රභල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ පවතින බව සඳහන් .
තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින්, මෙම පද්ධතිය 2026 නොවැම්බර් මස 20 වන දින දහවල් 11.30 පමණ වන විට, ඉතා ප්‍රභල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් ඉන්දියානු වෙරළ හරහා ගමන් කිරීමට ඉඩ පවතිනවා.
මේ අතර අද (17) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
